ජාතික ආණ්ඩුවත් එක්ක ඉන්නවද නැද්ද කියන්න චන්ද්‍රිකාට කිසිම අයිතියක් නැහැ…!

0

ජාතික ආණ්ඩුවේ කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට කිසිදු අයිතියක් නොමැති බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ උපසභාපති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

බත්තරමුල්ල සෙත්සිරිපායේ ඊයේ (29) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

පසුගිය මහමැතිවරණයේදි හිටපු ජනාධිපතිනියගේ කිසිදු සහයෝගයක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට නොලැබුණු බැවින් එවැනි තීන්දු තීරණ ගැනීමට අයිතියක් නොමැති බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.

“පහුගිය මහමැතිවරණයේදි බුලත් කොලය හැටියට අපි මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් තමයි ඒ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවලා පාර්ලිමේන්තුවට තේරි පත් වුණේ. එතනදි එතුමියගේ සහය අපිට ලැබුණේ නෑ. ඒ නිසා එතුමියට අයිතියක් නැහැ අපිට එහෙම කියන්න. දෙසැම්බර් වෙනකම් ජාතික ආණ්ඩුවේ ඉන්න කියලා ජනාධිපති අපෙන් ඉල්ලීමක් කළා. නමුත් දැන් මැතිවරණ මාසයක් නම් කරලා තියන නිසා ඡන්දයෙන් පස්සේ අපි ඒ ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.”

ප්‍රශ්නය: ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ඡන්දයෙන් පස්සේ පොහොට්ටුවත් එක්ක එකතු වෙන්න සුදානමක් තියනවා ද?

“ඡන්දෙට කලින් එක්කාසු කරන්න තමයි අපි සුදානම් වුණේ. නමුත් ඒ අවස්ථාව මගහැරි ගියා. මැතිවරණ ප්‍රතිඵල ආවම හැම පක්ෂයකටම තීරණය කර ගන්න පුළුවන් අලුත් ඡන්ද ක්‍රමය එක්ක කොහොමද බලය පිහිටුව ගන්නේ කියලා. ඒක ඒ වෙලාවට තීරණය කරන්න පුළුවන්”

Susil Premajayantha