බැදුම්කර කොමිසමේ වාර්තාව රටට හෙලි කරන්න…!, ජවිපෙන් ජනපතිට ඉල්ලීමක්

0

ජනතාවගේ මුදලින් සකස් කරනු ලැබු බැදුම්කර කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපතිවරයා විසින් තමාගේ සන්තකයේ තබා නොගෙන රටට හෙලි කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසනවා.

අද (01) බත්තරමුල්ල එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදි ඒ පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ පිළිබඳව සඳහන් කර සිටියා.

එහිදි අදහස් දැක්වූ මන්ත්‍රිවරයා,

“ජනවාරි 08 ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන තෝරා පත්ගැනීමේදී රට තුළ පැන නැගුණු විශාලම සාකච්ඡුාව වූයේ වංචාව, දූෂණය, නාස්තිය පිළිබඳවයි. එම සාකච්ඡාවේ අරමුණු දෙකක් තිබුණා. පළවැනි කාරණය වූයේ වංචාවට දූෂණයට හවුල් වූ කණ්ඩායම් අත්අඩංගුවට ගෙන දඬුවම් ලබාදීමයි. දෙවන කාරණය වුණේ නැවත පත්වන ආණ්ඩුවල වංචාවට, දූෂණයට තිත තැබීමයි. ලබන ජනවාරි 08වනදාට මෙම ආණ්ඩුවට වසර 3ක් සම්පූර්ණ වෙනවා. ආණ්ඩුවක හොඳ, නරක වගවිභාග කිරීමට වසර 3ක කාලය ඕනෑවටත් වඩා ප‍්‍රමාණවත්. ජනවාරි 08වැනිදා ජනවරමට පිටුපා කි‍්‍රයාත්මක වූ ගමන් මාවතක් තමයි ආණ්ඩුවට තිබෙන්නේ. මෙම ආණ්ඩුවේ ප‍්‍රධානතම වංචාව වූයේ මහබැංකු බැඳුම්කර මිලදී ගැනීමේ ගනුදෙනුවයි. ජනවාරි 08වැනිදා ආණ්ඩුව පත්වීමෙන් පසුව මෙම ගනුදෙනුව සිදුවන්නේ පෙබරවාරි 27වැනිදායි. එනම් ආණ්ඩුව පත්වී දින 50ක් ගතවීමටත් මත්තෙන්. මෙම ගනුදෙනුවෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ අපි ගනුදෙනුව පිළිබඳව කරුණු හෙළිදරව් කරමින් දූෂිතයින්ට දඬුවම් දීමට ආණ්ඩුවට බල කළා. පාර්ලිමේන්තුවේදීත් කෝප් සභාව තුළත් ආණ්ඩුවෙන් එල්ල වූ විවිධ බාධාවන් පරාජයට පත්කොට වාර්තාවක් ඉදිරිපත් කළා. කෝප් සහ විගණන වාර්තා අනුව දූෂිතයින් හෙළිදරව්වී තිබුණත් ආණ්ඩුව චූදිතයින් නීතිය හමුවට ගෙනාවේ නැහැ. එම වාර්තා පිළිබඳව ආණ්ඩුව දැක්වූයේ අඩු සැලකිල්ලක්.”

“අනතුරුව බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව ජනාධිපති කොමිසමක් පත් කළා. එම කොමිසන් සභාව තුළ සාකච්ඡාවට ලක්වූ කරුණු මාධ්‍ය මගින් වාර්තා කළා. අවසානයේදී දෙසැම්බර් 30වැනිදා බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව වාර්තාව ජනාධිපතිවරයා අතට පත්වුණා. එම වාර්තාව ජනාධිපතිවරයා පමණක් සතු වාර්තාවක් නොවෙයි. ජනාධිපතිවරයා සතු වගකීම වන්නේ පළමුකොටම එම වාර්තාව ජනතාවට තොරතුරු ලබාගත හැකි පරිදි රටට ඉදිරිපත් කිරීමයි. ජනාධිපති කොමිෂන් සභා මහජනතාවගේ ධනය යොදවලා මහජනතාවගේ ධනය පිළිබඳව කරනු ලබන පරීක්‍ෂණ නිසා එම වාර්තාවල තොරතුරු ජනතාවට දැන ගැනීමට අයිතියක් තිබෙනවා. අපි ජනාධිපතිවරයාට බල කරනවා එම වාර්තාව තමන් සන්තකයේ පමණක් තබා නොගෙන රටට හෙළදරව් කරන්න කියලා.”

“දෙවනුව ජනාධිපතිවරයා කළ යුත්තේ ජනාධිපති කොමිසමේ නිර්දේශ කි‍්‍රයාතමක කිරීමයි. අනිවාර්ය ලෙස මෙම වාර්තාවේ නිර්දේශ ගණනාවක් ඇතුළත්ව තිබිය යුතුයි. එම නිර්දේශයන්ට අනුව නීතිපතිවරයාට යොමුකර චූදිතයින්ට එරෙහිව නීතිමය පියවර ගත යුතුයි. එසේ නොමැතිව මෙම වාර්තාවත් කාලයේ වැලි තලාවෙන් වැසී යාමට ඉඩ නොතැබිය යුතුයි. මෙතෙක් කල් අපේ රට තුළ සිදුවූයේ එක් වංචාවක් මගින් තවත් වංචාවක් යට යෑමත් එක් කොමිෂන් වාර්තාවක් මගින් තවත් කොමිෂන් වාර්තාවක් යට යෑමත් එක් වංචනිකයෙක් මගින් තවත් වංචනිකයෙක් යට යෑමත්ය. මෙතෙක් කල් අපේ රට තුළ රඟදැක්වූයේ මේ නාටකයයි.”

“ඒ වගේම බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේදී බරපතල මූල්‍ය වංචා පිළිබඳව සොයා බැලීමට ජනාධිපති විශේෂ විමර්ශණ කොමිසමක් පත්කළා. එහි කාලය දෙසැම්බර් 03වැනිදා අවසන් වෙලා තිබෙනවා. එම කොමිෂන් සභාවේ කාලය තුළ මහජන දේපොල වංචා කිරීම, අයථා පරිහරණය පිළිබඳව කරුණු රැසක පරීක්‍ෂණ පැවැත්වුණා. එම පරීක්‍ෂණවලින් 17ක වාර්තා මේ වනවිටත් ජනාධිපතිවරයාට ලබාදී තිබෙනවා. අයි.ටී.එන් ආයතනයේ සිදුවූ ලක්‍ෂ 1100ක මූල්‍ය අවභාවිතය පිළිබඳ වාර්තාව 2016 මැයි මාසයේදීත් ඇවන්ගාඞ් ගනුදෙනුව පිළිබඳව පරීක්‍ෂ වාර්තාව 2016 ඔක්තෝබර් මාසයේදීත් කල් ඉකුත් වූ පුපුරණ ද්‍රව්‍ය ගෙන්වීම නිසා ඇතිවූ ලක්‍ෂ 2,000ක පරීක්‍ෂණ වාර්තාව 2016 ඔක්තෝබර් මාසයේදීත් ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගම පිළිබඳව වාර්තාව 2017 ජනවාරි මාසයේදීත් බැසිල් රාජපක්‍ෂ ගුවන්යානා පරිහරණය පිළිබඳව වාර්තාව ඇතුළු වාර්තා 17ක් ජනාධිපතිවරයාට ලබාදී තිබෙනවා. නමුත් එම වාර්තාවල ඉදිරි කි‍්‍රයාමාර්ග මොනවද කියලා රට දන්නේ නැහැ. පැරණි වාර්තාවලට සිදුවූ ඉරණම මෙම වාර්තාවලටත් අත්පත් වෙලා තිබෙනවා. අපි පාර්ලිමේන්තුවේදී විශේෂ ඉල්ලීමක් කළා මෙම වාර්තා පාර්ලිමේන්තුවට හෝ ඉදිරිපත් කරන්න කියලා. අඩුම තරමේ පාර්ලිමේන්තුවටවත් එම වාර්තා ඉදිරිපත් කළේ නැහැ. මේ ආකාරයටම මහබැංකු බැඳුම්කර පිළිබඳව කොමිසන් වාර්තාවටත් මේ ඉරණමම අත්වේවිදැයි බරපතල සැකයක් අපිට තිබෙනවා. එනිසා අපි ජනාධිපතිවරයාට නැවතත් බලකර සිටිනවා මෙම වාර්තාව රටට ඉදිරිපත් කරන්න කියලා. ”

“අපි ජනාධිපති ලේකම් කාර්යාලය වෙත තොරතුරු දැන ගැනීමේ පනතට අනුව විශේෂ ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙනවා බරපතල වංචා දූෂණ පිළිබඳ ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව මගින් ඉදිරිපත් කළ වාර්තාවල පිටපත් සහ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමේ වාර්තාවෙත් පිටපතක් ලබාදෙන්න කියලා. මොකද හැම විටම මෙම කොමිසන් වාර්තා යට ගැසීමේ සම්ප‍්‍රදාය තමයි රට තුළ කි‍්‍රයාත්මක වෙමින් තිබෙන්නේ. වංචා සිදු කිරීමත් එම වංචා පිළිබඳ පරීක්‍ෂණ සිදු කිරීමත් වාර්තා යට ගැසීමත් වංචා කරන ලද මහජන දේපල දේශපාලනය වෙනුවෙන් යොදා ගෙන ප‍්‍රතිපෝෂණය වීමත් අද නාටකයක් බවට පත්වෙලා. අපේ රටේ විශාලතම පිළිලය බවට පත්වී තිබෙන්නේ වංචාව සහ දූෂණයයි. ප‍්‍රධානතම අනතුර වන්නේ දූෂණයට හවුල් වූවන් ආණ්ඩුව තුළ සිටීමත් වංචා දූෂණ පිළිබඳ පරීක්‍ෂණ ආණ්ඩුව විසින්ම සිදු කිරීමත්ය.”

“අද දූෂණයට විරුද්ධ වීම විලාසිතාවක් බවට පත්වෙලා. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ඇතුළු ශී‍්‍රලනිපයේ මැති ඇමතිවරුන් දිවුරුමක් ලබා දුන්නා වංචා දූෂණ සිදු නොකරන බවට. ජනාධිපතිවරයා එවැනි දිවුරුමක් සිදුකළ යුත්තේ ජනාධිපතිවරණයකදීයි. දැන් ජනාධිපතිවරයා දිවුරුම් දිය යුත්තේ වංචාවට, දූෂණයට සම්බන්ධ චූදිතයින්ට දඬුවම් දෙනවා කියලයි. ඒ වගේම එම දිවරුමට සම්බන්ධ වුණු එස්.බී. දිසානායක, නිමල් සිරිපාල, ජගත් පුෂ්පකුමාර, සුසිල් පේ‍්‍රම්ජයන්ත, දුමින්ද දිසානායක, අනුර යාපා ඇතුළු ඇමතිවරුන් පළමුව කළ යුත්තේ මෙතෙක් කළ වංචා දූෂණ සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව ගැනීමයි. ඒ වගේම ඔවුන් දිවුරුම් දිය යුත්තේ නැවත නැවතත් වංචා දූෂණය නොකරන බවටයි. දැන් ඔවුන් සිදුකරමින් තිබෙන්නේ මේ රටේ වංචා දුෂණ පිළිබඳව ජනතාවගෙන් මතුවෙලා තිබෙන දූෂණ විරෝධයත් වංචාකාරී ලෙස යොදාගැනීමයි.”

“මේ වනවිට බරපතල මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය තුළ සිදුවන පරීක්‍ෂණ ගණනාවක් තිබෙනවා. දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ලක්‍ෂ 15ක මුදල් වංචාවක් පිළිබඳව, මහියංගණ ප‍්‍රාදේශීය සභාවේ මිලියන 373ක වංචාවක් පිළිබඳවත් කතරගම ප‍්‍රාදේශීය සභාවේ ලක්‍ෂ 640 මුදල් ගනුදෙනුවක් පිළිබඳවත් මොරටුව මහනගර සභාවේ නගරාධිපතිවරයාට එරෙහිවත් පාලින්ද නුවර ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අයථා ලෙස මුදල් පරිහරණය කිරීම පිළිබඳවත් කැස්බෑව නගර සභාවේ එක් කෝටි අනුපන් ලක්‍ෂයක අයථා ගනුදෙනුවක් පිළිබඳවත් කැළණිය ප‍්‍රාදේශීය සභාවේ, බණ්ඩාරගම ප‍්‍රාදේශීය සභාවේ, බෙන්තොට ප‍්‍රාදේශීය සභාවේ, කොළඹ මහ නගර සභාවේ සහ පෑලියගොඩ නගර සභාවේ වංචා දූෂණ පිළිබඳවත් පරීක්‍ෂණ සිදුවෙමින් තිබෙනවා. මෙම පළාත්පාලන ආයතන පාලනය කළ පුද්ගලයින් දැන් ඉන්නේ මෛතී‍්‍රපාල ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා සමගයි. එම වංචා-දූෂණවලට සම්බන්ධ චූදිතයින් අද මැතිවරණයේ අපේක්‍ෂකයින් බවට පත්වෙලා ඉන්නවා. මහා පරිමාණ වංචාකාරයින් දූෂිතයින් මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පක්‍ෂයේ සංවිධායකයින් බවට පත්වෙලා. එනිසා වංචාවට දූෂණයට එරෙහිව සැබෑ හඬක් නැගිය යුතු සන්ධිස්ථානයකට අපේ රට පත්වී තිබෙනවා. මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අගමැතිවරයා සම්බන්ධ බවට කරුණු රැුසක් ඉදිරිපත් වී තිබෙනවා. ඒ වගේම අගමැතිවරයාත් ඇමතිවරු විශාල ප‍්‍රමාණයකුත් මෙම කොමිසමට කැඳවා ප‍්‍රශ්නකොට තිබෙනවා. කිසි සේත්ම මෙම බැඳුම්කර වාර්තාව යටපත්වීමට ඉඩ ලබා නොදිය යුතුයි.”

“අපි මේ රටේ පුරවැසියන්ගෙන් විශේෂයෙන් ඉල්ලනවා, වංචාවට එරෙහිව චෝදනා කිරීම, ලිවීම වගේම එම දූෂිතයන්ට එරෙහිව තමන්ට තිබෙන උපරිම බලය යෙදීමට හැකි තමන්ගේ ඡන්ද බලය පෙබරවාරි 10වැනිදා කල්පනාකාරී ලෙස යොදා ගන්න කියලා. දූෂිතයින්ට දුෂිතයින් ආරක්‍ෂා කරන්නන්ට ඉදිරියේදී දූෂණ සම්බන්ධයෙන් රැකවරණය බලාපොරොත්තුවෙන් සිටින්නන්ට එරෙහිවත් ඔවුන් අඩපණ කිරීමට පෙබ 10වැනිදා මැතිවරණය අවස්ථාවක් කරගන්න කියලා අපි ජනතාවගෙන් තවදුරටත් ඉල්ලනවා. ඒ වගේම මෙම දුෂිතයන්ට එරෙහිව මතවාදය ගොඩනැගීමට තමන්ට හැකි සෑම අවස්ථාවකදීම පෑන හසුරුවන ලෙස මේ රටේ මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිනවා.
මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්….”

“ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ එක්සත් ජාතික පක්‍ෂය අතර ආණ්ඩුව ගොඩනැගීම සඳහා අත්සන් කරන ලද ගිවිසුමේ කාලය වසර දෙකයි. එම වසර දෙකක කාලය 2017 සැප්තැම්බර් මාසයේ අවසන් වුණා. ඉන් පසුව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය කිව්වා මධ්‍යම කාරක සභාවේදී ජනාධිපතිවරයා විශේෂ ප‍්‍රකාශක් කළා කියලා දෙසැම්බර් 31වැනිදායින් පසුව ඒ පිළිබඳව තීරණයක් ගන්නවා කියලා. දැන් දෙසැම්බර් 31ත් ගතවෙලා ඉවරයි. ඉන් පසුව මහින්ද අමරවීර කියනවා පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඒ ගැන තීරණයක් ගන්නවා කියලා. අපි කියනවා මේ කිසිවෙක් තනතුරු අත්හරින් සූදානම් නැහැ කියලා. මන්තී‍්‍රකමක් නැතිව හිටපු එස්බී දිසානායකට මන්තී‍්‍රකමක් ලැබිලා ඇමතිකමක් ලැබුණට පස්සේ ඒක හරියට කෝටි ගාණක ලොතරැුයියක් ඇදුනා වගේ. එස්.බී ඇමතිකම අත්හරියිද? මහින්ද සමරසිංහ මැතිවරණයෙන් පරාජයට පත්වුණාට පස්සේ මන්තී‍්‍රකමක් ලැබිලා වරායේ ඇමතිධුරයත් ලැබුණාට පස්සේ ඔහු එම තනතුරු අත්හරියිද? මන්තී‍්‍රධුරයත් අහිමි වුණු ලක්‍ෂ්මන් යාපාට ඇමතිකමක් ලැබුණට පස්සේ ඒ තනතුර අත්හරියිද? මේ කිසිවෙක් ඇමති තනතුරු අත්හරින්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි මොවුන් ආණ්ඩුවේ එකට හිඳිමින් වෙනම ඡුන්දය ඉල්ලනවා. එකට කැබිනට් එකේ තීරණ ගනිමින් මැතිවරණ වේදීකාවේ චෝදනා කරගන්නවා. ශී‍්‍රලනිපයේ එස්.බී සමෘද්ධි ඇමති. එජාපයේ රන්ජන් සමෘද්ධි නියෝජ්‍ය ඇමති. ශී‍්‍රලනිපයේ අමරවීර ධීවර ඇමති. එජාපයේ දිලිප් වෙදආරච්චි නියෝජ්‍ය ඇමති. එජාපයේ කිරිඇල්ල මහාමාර්ග ඇමති, ශී‍්‍රලනිපයේ ඩිලාන් රාජ්‍ය ඇමති. එජාපයේ මංගල මුදල් හා ජනමාධ්‍ය ඇමති, ශ‍්‍රිලනිපයේ ලසන්ත අලගියවන්න නියෝජ්‍ය ඇමති. ශී‍්‍රලනිපයේ දුමින්ද කෘෂිකර්ම ඇමති, එජාපයේ වසන්ත අලූවිහාරේ නියෝජ්‍ය ඇමති. මේ ආකාරයට අමාත්‍යාංශ හසුරුවන්නේ මේ පක්‍ෂ දෙක එකටයි. ඔවුන් මේ මැතිවරණයේදීත් කරමින් තිබෙන්නේ ජනතාව රවටන එකයි. ඔවුන්ගේ දේශපාලනයේ ප‍්‍රධානතම අරමුණ වෙලා තිබෙන්නේ ඇමතිධුර ලබාගැනීමත් එම ඇමතිධුරවලින් ලැබෙන සුඛවිහරණයන් ලබා ගැනීමත් පමණයි.”

“කොමිෂන් සභා වාර්තාවකට විශේෂ පනතක් මගින් බලය ලබාදීමට හැකියාවක් තිබෙනවා. සිිරිමා බණ්ඩාරනායක මැතිනියගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමට එවැනි පාර්ලිමේන්තු පනතක් ගෙනාවා. නමුත් මෙම බැඳුම්කර වාර්තාවට එවැනි පනතක් මගින් බලයක් ලබාදී නැහැ. නමුත් මෙම කොමිෂන් සභාවේ වාර්තාව අනුව නීතිපති දෙපාර්තමේන්තුව මගින් චූදිතයින්ට නීතිමය පියවර ගැනීමටත් ඇතැම් කරුණු පිළිබඳව තව දුරටත් පරීක්‍ෂණ සිදු කළ යුතු යැයි නිගමනත් අනිවාර්යයෙන්ම අඩංගු වී තිබිය යුතුයි. මෙහි ඉදිරි ක‍්‍රියාමාර්ග පැවරෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට සහ නීතිමය කටයුතු කරන ආයතනවලටයි. එමෙන්ම මේ පිළිබඳව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණුකළ හැකිදැයි සොයා බැලීමට වන්නෙ එම කොමිසන් සභා වාර්තාව ලබාගැනීමෙන් පසුවයි.”