කෝ දැන් හොරු…, මෙච්චර කල් හොරකම් කරපු අයත් පපුවට අත තියාගෙන කියනවා හොරකම් කරන්නේ නෑ කියලා…

0

මේ රටේ මෑත කාලයේ විශාලතම ආන්දෝලනයකට තුඩු දුන් වාර්තාව බැඳුම්කර කොමිෂන් වාර්තාව බවත්, දැනට ජනාධිපතිවරයා වෙත භාරදී ඇති එම කොමිෂමට වියදම් කරනු ලැබුවේ මහජන මුදල් බවත්, මහජන මුදල් හොරකමක් සම්බන්ධව මහජන මුදල් යොදවා පරීක්ෂණයකට භාජනය කළ එම වාර්තාවේ ඇති දේ සම්බන්ධව දැනගැනීමේ සාධාරණ අයිතියක් මහජනතාවට ඇති නිසා එම වාර්තාව වහා සමාජයට ඉදිරිපත්කරන ලෙස බලකර සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රීස අනුර කුමාර දිසානායක කොටගල,ඩෙරික්ලෙයා තේවතුයායේ ඊයේ (02) දා පැවති මහජන හමුවකදී පැවසුවා.

මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයිනගේ ජය තහවුරු කිරීම සඳහා පැවැත්වූ මෙම ජන හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මෙසේද පවසා සිටියා.

“ මේ රටේ ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපි වගේ අයටයි. ඒ ගොල්ලන්ට ප්‍රශ්නයක් නෑ. සිංහල මහින්දට ප්‍රශ්නයක්  නෑ. සිංහල රනිල්ට ප්‍රශ්නයක් නෑ. දෙමළ ඩග්ලස් දේවානන්දට ප්‍රශ්නයක් නෑ. දෙමළ මනෝ ගනේෂන්ට, දිගාබරන්ට ප්‍රශ්නයක් නෑ. මුස්ලිම් රවූෆ් හකීම්ට හෝ රිෂාඩ් බද්වුද්ධීන්ටත් ප්‍රශ්නයක් නෑ. ඒ අය ඔක්කෝම එකට ඉන්නවා. හැබැයි අපි ප්‍රශ්න වලින් වෙලිලා ඉන්නවා. ඒ නිසා අපි තමුන්නාන්සේලාට ආරාධනා කරන්නයි ආවේ. අපි දැන් අළුත් දේශපාලනයක් පටන් ගමු. අවුරුදු 70 වක් මේ දේශපාලනය හොඳටම ඇති. මේක වැරදි දේශපාලනයක්. ඒගොල්ලෝ දේශපාලනයට එනවා හොරකං කරනවා. පසුගිය දවස්වල රනිල් වික්‍රමසිංහ මහත්තයා ආණ්ඩුව ගත්තේ හොරු අල්ලන්ට කියල. හොරු අල්ලන්න ආව රනිල් වික්‍රමසිංහ මහත්තයට දැන් හොරු කෝචොක් කොරනව. කෝ හොරු කියල අහනව. මහින්ද මහත්තයත් අහනව කෝ හොරු කියල. මේ ළඟදි මහින්ද මහත්තයා කියනවා එයා ආවම හොරු අල්ලනව කියල. මෛත්‍රිපාල සිරිසේන මහත්තයාගේ කට්ටිය පපුවට අත තියාගෙන දිවුරුම් දෙනවා හොරකම් කරන්නේ නෑ කියල. කව්ද එතන ඉන්නේ ? එස්.බී.දිසානායක, ඩිලාන් පෙරේරා, විජිතමුණි සොයිසා, ජගත් පුෂ්පකුමාර, නිමල් සිරිපාලද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත මේ අය පපුවට අත තියාගෙන දිවුරම් දෙනවා හොරකං කරන්නේ නෑ කියලා. මෙච්චරකල් හොරකං කරපු ඒ අය. හරිනම් ඒ ගොල්ලෝ දිවුරුම් දෙන්න ඕන නැවත නැවත ආයේ හොරකං කරන්නේ නෑ කියලයි. ඒ අය හොරකං කරපු අය. මහින්ද මහත්තයාගේ අය. රනිල් මහත්යාගේ කට්ටිය, මෛත්‍රීපාල මහත්තයාගේ කට්ටිය මේ ඔක්කොම මහජනතාවගේ දේපළ හොරකං කරන අය. හොරකං කරා කියල දඬුවම් හම්බවෙයිද? එහෙම දඬුවම් හම්බ වෙන්නේ නෑ. රනිල් මහත්තයා කිව්වා හොරු අල්ලනවා කියල. ඇල්ලුවද? ඊට කළින් 94 දී චන්ද්‍රිකා මහත්මිය කිව්වා හොරු අල්ලනවා කියල. අවු 17 ක් යූ.එන්.පී ආණ්ඩුව රට පාලනය කළා. එදා චන්ද්‍රිකා මැතිණිය කිව්වා මට මතකයි එතුමිය කීවා අවුරුදු 17 ක් එ.ජා.ප. රට පාලනය කරල මහා පරිමාණ ලෙස හොරකම් කරලා තියෙනවා. එතුමිය බලයට ආපුවම හොරු ගෝල් ෆේස් පිට්ටනියට අරගෙන ගිහින් හම ගහනවා කීවා. ඒ කාලේ අපි කැම්පස් එකේ හිටියේ. අපි ගෝල් ෆේස් එකට ගිහින් බංකුවේ වාඩි වෙලා වඩයක් කකා බලන් හිටියා හොරු හමගහනකන්. හොරු හම ගැහැව්වාද? නෑ එහෙම හොරු හම ගහන්නේ නෑ. රනිල් මහත්තයා ඇවිල්ලා හොරුන්ට දඬුවම් දෙනවා කිව්වා. දුන්නද ? නෑ. මේ ඔක්කොම එකම පන්තියේ. එකට ඉන්නේ. ඒකයි ඇත්ත. අපේ රට මහා පරිමාණ වංචා දූෂණ වලින් පිරිලා තියෙන්නේ.”

“බැඳුම්කර කොමිෂම. වාර්ථාව ජනාධිපතිතුමාට භාර දීලයි තියෙන්නේ. අපි මේ සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඒ වාර්තාව අපට ලබා දෙන්න කියා ඉල්ලා සිටියා. මොකද ජනතාවට අයිතියක් තිබෙනවා. මීට කළින් බරපතල මූල්‍ය අපරාධ ජනාධිපති කොමිෂන් සභාවක් පිහිටවනු ලැබුවා.එයින් රටේ වැදගත්ම වංචා දූෂණ පරීක්ෂණ 17 ක් සිදු වුණා. ඒ පරීක්ෂණ වාර්තා 17 ත් වරින් වර ජනාධිපතිවරයාට භාර දී තිබුණා. මා දැක්කා පුවත්පත්වල තිබෙනවා සම්පූර්ණ වාර්තාව හෙට අනිද්දා භාර දෙනවා කියල. හැබැයි සම්පූර්ණ වාර්තාවට කළින් එක් එක් පරික්ෂණ වාර්තා භාර දී තිබුණා. එම පරීක්ෂණ වාර්තා අපි පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියත් ලබා දුන්නේ නෑ. ඒ නිසා මේ බැඳුම්කර කොමිෂන් වාර්තා වගේම පැරණි ජනාධිපති බරපතල මූල්‍ය අපරාධ පිළිබඳ විමර්ෂණ කොමිෂන් වාර්තාවත් භාර දෙන්න ඕන.ඒ නිසා අපේ රටේ වංචනිකයින්ට එරෙහිව අපි සටනක් දියත් කරන්න ඕන. ඒ සටන දියත් කරන විට ප්‍රාදේශිය සභාවේදී සටන අතිශය වැදගත් කියා අපි හිතනවා. මේ වංචනිකයින්ගෙන් මේ ප්‍රාදේශිය සභාව මුදවාගත යුතුයි.ඒ වගේම මැතිවරණ කාලේදී මාධ්‍යට විවිධ තර්ජණ එල්ල වෙමින් තිබෙනවා. සාමාන්‍ය කාල පරිච්ඡේද වලදී මාධ්‍යට යම් නිදහසක් තිබුණත් ඡන්දයක් එන විට මාධ්‍යට විවිධ බලපෑම් හා විවිධ නියෝග නිකුත් වෙන්න පටන්ගෙන තිබෙනවා. ඒ නිසා අපි කියනවා මාධ්‍යට, මැතිවරණයේදී සෑම දේශපාලන ව්‍යාපාරයකටම සාධාරණ අයිතියක්, සාධාරණ කාලයක් සාධාරණ වාර්තාකරණයක් මාධ්‍ය තුළ කරයි කියල අපි තුළ බලාපොරොත්තුවක් තිබෙනවා. අපිට දැන් වැදගත් ඡන්දයක් පැමිණ තිබෙනවා. ගමේ සියලු දෙනාගෙන්ම අපි ඉල්ලා සිටින්නේ අපි වෙනස් වෙමු.අපි වැදගත් තිරණයක් ගමු”