ඇගිලි සළකුණට හෙද හෙදියන්ගේ විරෝධය!

0

ශ්‍රි ජයවර්ධනපුර රෝහලේ හෙද හෙදියන්ගේ පැමිණීම හා පිටව යාම සඳහන් කිරීම සඳහා රෝහල් පරිපාලනය විසින් ඇගිලි සළකුණ සටහන් කිරීමේ යන්ත්‍ර හදුන්වා දීමට විරෝධය පල කරන බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ හෙද හෙදියන්ගේ පැමිණීම හා පිටවයාම පිළිබඳව ජයවර්ධනපුර රෝහල තුල කිසිදු ගැටලූවක් මතු නොවී ඇති අවස්ථාවක රෝහල් පාලනාධිකාරිය බලහත්කාරී ලෙස මෙම ඇඟිලි සලකුණු යන්ත‍්‍ර භාවිතා කිරීමට ගෙන ඇති තීරණය පිළිබඳ රෝහලේ සියලූ හෙද හෙදියන්ගේ දැඩි විරෝධය මතු වී ඇති බවයි.

එම නිවේදනය පහතින්,

සමස්ත ලංකා හෙද සංගමය. – All Ceylon Nurses’ Union,
හෙද වෘත්තීය සමිති එකමුතුවශ‍්‍රී ජයවර්ධනපුර රෝහල
2018.01.03

ජනමාධ්‍ය නිවේදනය
ප‍්‍රවෘත්ති කතෘ/ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ,

ඇඟිලි සලකුණු යන්ත‍්‍ර භාවිතයට විරෝධය පළකරමින් ජයවර්ධනපුර රෝහලේ හෙදහෙදියන් වෘත්තීය ක‍්‍රියාමාර්ගයක

ජයවර්ධනපුර රෝහලේ සේවය කරන හෙද හෙදියන්ගේ පැමිණිම හා පිටව යාම සටහන් කිරීම සඳහා මෙතෙක් පැවති පැමිණිම හා පිටවයාම පොතේ අත්සන් තැබීම වෙනුවට ඇඟිලි සලකුණු යන්ත‍්‍ර භාවිතා කිරීමට රෝහල් පාලනාධිකාරිය තීරණය කර ඇත.  රාජ්‍ය සේවාවේ ඉතා සුවිශේෂි, එමෙන්ම අනෙකුත් රාජ්‍ය සේවකයින්ට වඩා සේවයට පැමිණීම හා පිටවයාමේ දුෂ්කරම කාලවේලාවන්හි සේවාමුර රාජකාරි සඳහා සේවයට වාර්තා කිරීමට හෙද හෙදියන්ට සිදුව තිබේ.

එහෙත් සියලූ හෙද හෙදියන්ට නිල නිවාස පහසුකම් පවා ලබාදී නැති තත්වයකදී ඔවුන්ට රාජකාරියට පැමිණීමට සිදුව ඇත්තේ තම නිවෙස්වල සිට හෝ පෞද්ගලික නවාතැන්වල සිටයි. එසේම හෙදියන්ගේ ප‍්‍රවාහන දුෂ්කරතා මගහැරවීම වෙනුවෙන් සෞඛ්‍ය ඇමතිවරයා තීරුගාස්තු රහිත වාහන බලපත‍්‍රයක් ලබාදෙන බවට පොරොන්දු වී තිබේ. එම පොරොන්දුට ඉටුකිරීම තබා රාජකාරියට පැමිණීම හා පිටවයාම සඳහා පොදු ප‍්‍රවාහන සේවාවන් හෝ ප‍්‍රමාණවත්ව සැලසීමට අපහසු තත්වයක් තුල කෙසේ හෝ හෙද හෙදියන් රෝගී සත්කාර සේවාවන් දැඩි කැපකිරීමක් මධ්‍යයේ අඛණ්ඩව සිදුකරගෙන යනු ලබයි.

එවැනි වටපිටාවක හෙද හෙදියන්ගේ පැමිණීම හා පිටවයාම පිළිබඳව ජයවර්ධනපුර රෝහල තුල කිසිදු ගැටලූවක් මතු නොවී ඇති අවස්ථාවක රෝහල් පාලනාධිකාරිය බලහත්කාරී ලෙස මෙම ඇඟිලි සලකුණු යන්ත‍්‍ර භාවිතා කිරීමට ගෙන ඇති තීරණය පිළිබඳ රෝහලේ සියලූ හෙද හෙදියන්ගේ දැඩි විරොධය මතුව තිබේ. එසේම මෙය ක‍්‍රියාත්මක කිරීම තුල දුෂ්කරතා මධ්‍යයේ සේවයට පැමිණෙන හෙද හෙදියන්ගේ අතිකාල කපා දැමීමටත් ඒ හරහා රෝහලේ අර්බුදයක් ඇතිකර රෝහල පාඩු ලබන බව කියන බලධාරීන් රෝහල විකුණා දැමීමට ගෙන යන තවත් කුමන්ත‍්‍රණයක් බවද හෙද හෙදියන්ගේ අදහසයි.

එබැවින් බලහත්කාරී ලෙස ගෙන එන ලද ඇඟිලි සලකුණු යන්ත‍්‍ර වෙනුවට පෙර පරිදි හෙද හෙදියන්ට පැමිණීම හා පිටව යාමේ පොත් අත්සන් තිරීමේ ක‍්‍රමවේදය ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් 2018.01.03 දින පෙ.ව. 7.00 සිට රාජකාරියෙන් ඉවත් වීමට සියලූ හෙද කාර්ය මණ්ඩලය තීරණය කර ඇත. මේ වන විට රෝගීන්ගේ හදිසි ප‍්‍රතිකාර කටයුතු පමණක් පවත්වාගෙන යන අතර පාලනාධිකාරිය විසින් ගැටලූව විසඳීමට කටයුතු නොකරන්නේ නම් වෘත්තීය ක‍්‍රියාමාර්ගය දැඩි කිරීමට කටයුතු කරන බවත් රෝහලේ හෙද වෘත්තීය සමිති එකමුතුව ප‍්‍රකාශ කර සිටී.
අද සවස්වන විටත් උක්ත ගැටලූව විසදීමට රොහල් පාලන අධිකාරිය කටයුතු නොකිරීම හේතුවෙන් ඊට විරෝධය පා සියලූ කාර්යමංඩල හා සියලූ වෘත්තීය සමිති සහභාගීත්වයෙන් හෙට 04වන දින දහවල් 12.00ට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව දන්වා සිටිමු.

ස්තූතියි.

මෙයට,
හෙද වෘත්තීය සමිති එකමුතුව වෙනුවෙන්,
එච්.එම්.එස්.බී. මැදිවත්ත
ජාතික සංවිධායක – සමස්ත ලංකා හෙද සංගමය

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here