මෛත්‍රීගේ කඩුව වැනෙන්නේ රනිල්ගේ බෙල්ල බේරලා

0

ජනාධිපතිවරයාගේ කඩුව වැනෙන්නේ අගමැතිවරයාගේ බෙල්ල බේරලා බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් පවසයි. පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රිවරයා සදහන් කලේ

“අපි බලාගෙන ඉන්නවා ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ගන්නා කි‍්‍රයාමාර්ග පිළිබඳව. ඔහ එක වෙලාවක මඩු වලිගය ගැන කිව්වා. තව වෙලාවක කඩුවක් ගැන කිව්වා. නමුත් ඔහු කතාවේදී කියන ඒවා කි‍්‍රයාත්මක වෙන්නේ නැහැ. බැඳුම්කර කොමිෂන් වාර්තාව ගැන කියද්දී අගමැතිවරයා බේරලා තිබෙනවා. ජනාධිපතිවරයාගේ කඩුව වැනෙන්නේ අගමැතිවරයාගේ බෙල්ල බේරලා. අගමැතිවරයා පාර්ලිමේන්තුවේ ප‍්‍රකාශ කිරීමේදී මහබැංකු අධිපතිවරයා පිළිබඳව විශ්වසය තබා කටයුතු කිරීම වැරදියි කියන එක කියලා ජනාධිපතිවරයා අගමැතිවරයාව බේරලා තිබෙනවා. නමුත් මෙම ගනුදෙනුවේ මහ මොළකරු අගමැතිවරයායි. අගමැතිවරයා තමයි මහ බැංකු අධිපතිවරයා පත්කරන්නේ. ඒ විතරක් නෙවෙයි, මෙම අයථා ගනුදෙනුවෙන් පස්සෙත් මහ බැංකු අධිපතිවරයාගේ තනතුර දීර්ඝ කරන්න උත්සාහ කළා. ඒ නිසා ප‍්‍රධාන චූදිතයා වෙන්නේ අගමැතිවරයායි.

ජනාධිපතිවරයා මෙම ප‍්‍රකාශය අවසානයේදී කිව්වා, කොමිෂන් සභා දෙකේම පරීක්‍ෂණ කටයුතු නිර්දේශ, හා එම තොරතුරු මත ඉදිරියේදී කි‍්‍රයා කිරීමේදී ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකෙහිම පුද්ගලයින් වගඋත්තරකරුවන් බවට පත්වී තිබෙන බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි කියලා. එනිසා දැන් ජනතාවට පැහැදිලියි මෙම පක්‍ෂ දෙකම අපේ රටේ මහජනතාවගේ මුදල් වංචාවට, දුෂණයට, නාස්තිය සෘජුවම සම්බන්ධයි කියලා. තවදුරටත් අපේ රටේ ජනතාව මේ පක්‍ෂ දෙකට ඡන්දය ලබා දෙනවාද කියලා සිතා බැලිය යුතුව තිබෙනවා. ”

තවදුරටත් අදහස් දැක්වු විජිත හේරත් මන්ත්‍රීවරයා ………..

ඊයේ ජනාධිපතිවරයා විසින් කළ ප‍්‍රකාශය පසුගිය වසර 70ක කාලය තුළ එක්සත් ජාතික පක්‍ෂය, ශී‍්‍රලනිප පක්‍ෂ දෙකේ වංචා, දුෂණ, අක‍්‍රමිකතා කි‍්‍රයාවලියේ කෙටි වාර්තාවක්. එක්සත් ජාතික පක්‍ෂයත් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයත් මෙතෙක් කල් ගෙනගිය පාලනයේ පැටිකිරියේ පාපෝච්චාරණයක් තමයි ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයට පත් කළේ. වසර 70ක ශේෂ පත‍්‍රයයි. මෙම පක්‍ෂ දෙක මාරුවෙන් මාරුවට ජනතාවගේ මුදල් වංචා කළ බව, නාස්ති කළ බව, කාබාසිනියා කළ බව එම ප‍්‍රකාශයෙන් පැහැදිලි වෙනවා.

හොරු එළවලා දුෂණය, වංචාව නතර කරනවා කියපු මේ ආණ්ඩුව මහා පරිමාණ බැංකු කොල්ලයක් කළා. ආණ්ඩුව පත්වෙලා මාසයකට ආසන්න කාලයකදී තමයි මෙම මංකොල්ලය සිදුකළේ. මෙම ගනුදෙනුව සිදුවූයේ පෙබ. 26-27 දින ආසන්නයේ. මෙම ගනුදෙනුවෙන් පසු එහි සම්පූර්ණ තොරතුරු අපේ පක්‍ෂයේ සුනිල් හඳුන්නෙත්ති මන්තී‍්‍රවරයා විසින් 2015 මාර්තු 10 මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වමින් හෙළිදරව් කළා. ලංකා ඉතිහාසයේ සිදුවූ බරපතළම මූල්‍ය වංචාව එයයි. ඉන් පසුව 2015 මාර්තු 17වැනිදා අපේ පක්‍ෂයේ නායක අනුර දිසානායක සහෝදරයා ස්ථාවර නියෝග 23-2 යටතේ විශේෂ ප‍්‍රකාශයක් කරමින් මෙම අයථා ගනුදෙනුව පිළිබඳවත් එයින් සිදුවූ පාඩුවත් අර්ජුන් මහේන්ද්‍රන්ගේ සම්බන්ධයත් පිළිබඳව අගමැතිවරයාගෙන් ප‍්‍රශ්න කළා. අගමැතිවරයා ඒ අවස්ථාවේදී අර්ජුන් මහේන්ද්‍රන් ආරක්‍ෂා කරමින් පාර්ලිමේන්තුවේදී කතා කළා. අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා මෙම ගනුදෙනුවේ අසාමාන්‍ය ලෙස ලාභ ලැබීමට මහේන්ද්‍රන්ගේ සම්බන්ධයක් තිබුණා. ඒ වෙලාවේ අගමැතිවරයාගෙන් ප‍්‍රශ්න කිරීමත් හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ කියලත් අපි කිවුවා. අගමැතිවරයා කිවුවේ මහ බැංකු අධිපතිවරයා මෙම ගනුදෙනුවට සම්බන්ධ බවට ප‍්‍රකාශ වන කරුණු සත්‍යයෙන් තොරයි කියල. ඒ වගේම මහ බැංකු අධිපතිවරයා ටෙන්ඩර් මණ්ඩලයට බලපෑම් කළ බවත් අසත්‍යයි කියලා අගමැතිවරයා කිව්වා. අපි එදා කළ චෝදනාව පිළිබඳව ආණ්ඩුව කි‍්‍රයාමාර්ග ගත්තා නම් මේ තරම් මූල්‍යමය අලාභයක් සිදු නොවෙන්න ඉඩ තිබුණා. ආණ්ඩුව නිසි කි‍්‍රයාමාර්ග නොගැනීම නිසා විශාල මුදලක් රටට අහිමි වුණා.

ඉන් පසුව 2015 ඩිව් ගුණසේකර සභාපතිත්වයෙන් කොප් කමිටුවේ පරීක්‍ෂණක් සිදු කෙරුණා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග එම පරීක්‍ෂණ නතර වුණා. පසුව 2015 මහ මැතිවරණයෙන් පසුව රැස්වූ පාර්ලිමේන්තුවේදී නව කෝප් කමිටුවක් පත්කළා. එහි සභාපතිත්වය දැරුවේ සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා. එම කෝප් කමිටුව දීර්ඝ කාලයක් මෙම මහ බැංකු බැඳුම්කරය පිළිබඳව පරීක්‍ෂණය කළා. එම කෝප් කමිටුවේ වාර්තාව ඉදිරිපත් කොට දැන් මාස 15ක් ගතවෙලා තිබෙනවා. 2016 ඔක්. 28වැනිදා ඉදිරිපත් කළ එම කෝප් වාර්තාවෙන් නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කළා. අයථා ගනුදෙනුවක් සිදුවී ඇති බවත් අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිවරයා එයට සම්බන්ධ බවත් කරුණු හෙළිදරව් කළා. එම ගනුදෙනුවෙන් ජනතාවට අහිමි වූ මුදල් නැවත අයකර ගන්න නීති කි‍්‍රයාමාර්ග ගන්න කෝප් කමිටුව නිර්දේශ කළා. එම කමිටු වාර්තාව නීතිපතිවරයාට බාර දුන්නා. නමුත් මාස 15ක් ගතවී තිබියදීත් එම වාර්තාව පදනම් කරගෙන කිසිදු නීතිමය කි‍්‍රයාමාර්ගයක් අරගෙන නැහැ.

ජනතා විමුක්ති පෙරමුණ 2016 නොවැ. 09වැනිදා මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට එරෙහිව ආණ්ඩුව ගතයුතු කි‍්‍රයාමාර්ග 06කින් යුත් ලියවිල්ලක් ඉදිරිපත් කළා. මුදල් අමාත්‍යාංශය යටතේ පැවති මහ බැංකුව අගමැතිවරයා යටතට පවරා ගැනීමත් ජනතා විරෝධය නොසලකා සිංගප්පූර් පුරවැසියෙක් මහ බැංකු අධිපති තනතුරට පත් කිරීමත් බැඳුම්කර වංචාව හෙළිවූ අවස්ථාව් සිට අධිපතිවරයා රැකීමට අගමැතිවරයා කටයුතු කිරීමත් ඔහුගේ ධුර කාලය දීර්ඝ කිරීමට උත්සාහ කිරීමත් ඔහු තනතුරෙන් ඉවත් නොකර ස්වභාවිකව කාලය අවසන් වන තෙක් සිටීමත් යන කරුණු අපි එම ලියවිල්ලෙන් අවධානය යොමු කළා. ඊට අමතරව කෝප් කමිටුවේ සාමාජිකයෙකු ඉවත් කොට සුජීව සේනසිංහ මන්තී‍්‍රවරයා කෝප් කමිටුවට ඇතුළත් කිරීමට අගමැතිවරයා කටයුතු කර තිබුණා. එය හිතාමතා මෙම ගනුදෙනුව ආරක්‍ෂා කිරීමට කළ කටයුත්තක්. පසුව සුජීව සේනසිංහ මන්තී‍්‍රවරයා ගනුදෙනුව ආරක්‍ෂා කරමින් පොතකුත් ලිව්වා. මේ පිළිබඳවත් අපි ආණ්ඩුවේ අවධානය යොමු කළා.

බැඳුම්කර වංචාව පිළිබඳ කෝප් වාර්තාව පදනම් කරගනිමින් වංචාවට සම්බන්ධ සියලූම දෙනාට එරෙහිව නීතිමය පියවර ගැනීමත් රජයට වංචා කළ මුදල් ආපසු අයකර ගැනීමටත් අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති තනතුරෙන් හා ඔහු දරන සියලූ තනතුරුවලින් වහා ඉවත් කරන ලෙසත් පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ප‍්‍රාථමික ගනුදෙනුකරුවන්ගෙන් ලැයිස්තුවෙන් ඉවත් කරන ලෙසත් ඔවුන් අයථා ලෙස උපයා ගත් මුදල් රටින් බැහැර කිරීම වළක්වන ලෙසත් අපි එම ලිපියෙන් ආණ්ඩුවට අවධාරණය කර සිටිය. නමුත් කිසිදු නීතිමය කි‍්‍රයාමර්ගයක් ගත්තේ නැහැ. දැන් ප‍්‍රමාද වෙලා ජනාධිපති කොමිෂන් වාර්තාවක් එළිදක්වලා තිබෙනවා.

කෝප් කමිටුවේ තිබෙන සීමාකම් යටතේ උපරිම පරීක්‍ෂණයක් කරන්න පියවර ගත්තා. නමුත් ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමට කෝප් කමිටුවට වඩා බලතල වැඩියි. ඕනෑම කෙනෙක් කැඳවන්න පුළුවන්. එනිසා මෙම ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ විශාල කරුණු ප‍්‍රමාණයක් අන්තර්ගත වෙලා තිබෙනවා. රවී කරුණානායක පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමෙන් ගෙවල් කුලී ලබා ගැනීම, මුදල් ඇමතිධුරය අයථා ලෙස යොදා ගැනීම, වැනි කරුණු ගණනාවක් එම පරීක්‍ෂණවලින් හෙළිදරව් වුණා. ඒ අනුව බොරු සාක්‍ෂි ලබාදීම සම්බන්ධයෙන් රවී කරුණානායකට එරෙහිව දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ කටයුතු කිරීමටත් අල්ලස් ලබාගැනීමට එරෙහිව අල්ලස් හෝ දුෂණ කොමිසමට පැමිණිලි කිරීමටත් නිර්දේශ කර තිබෙනවා. ඒ වගේම අර්ජුන් මහේන්ද්‍රන් දැනුවත්ව මහ බැංකුවේ අභ්‍යන්තර තොරතුරු තමන්ගේ බෑනාගේ සමාගමට ලබාදී තිබෙන බවටත් ඔහු යටතේ සිටි නිලධාරීන් යටපත් කොට ගනුදෙනුව සිදුකර ඇති බවටත් වාර්තාවෙන් හෙළිවෙලා තිබෙනවා. එමෙන්ම එම වාර්තාව නිර්දේශ කර තිබෙනවා නව නීති සම්පාදනය කොට නීතිමය කි‍්‍රයාමාර්ග ගන්න කියලා. 2015 වසරේ පමණක් නොව 2008 සිට අයථ ගනුදෙනුවක් සිදුවී තිබෙන අතර ඒ පිළිබඳවත් පිරීක්‍ෂණයක් කිරීමට නිර්දේශ කර තිබෙනවා. අර්ථසාධක අරමුදලට 2008 වසරේ සිට විශාල හානියක් සිදුවී ඇති බව වාර්තාවේ සඳහන් වෙනවා. අපේ රටේ පෞද්ගලික අංශයේ සේවකයින්ගේ සේවක අර්ථසාධක අරමුදලට පාඩු කිරීම පිළිබඳව රාජපක්‍ෂ ආණ්ඩුවේ මහ බැංකු අධිපතිවරයා වූ අජිත් නිවාඞ් කබ්රාල්ට එරෙහිව පරීක්‍ෂණයක් කළ යුතුව තිබෙනවා. සේවක අර්ථසාධක අරමුදලට පමණක් මිලියන 8529ක පාඩුවක් සිදුවෙලා තිබෙනවා. එමෙන්ම මහපොළ ශිෂ්‍යත්වය අරමුදලට, එන්.එස්.බී. ආයතනයට, රක්‍ෂණ සංස්ථාවේ අරමුදලට විශාල පාඩුවක් සිදුවෙලා තිබෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා 2008 සිට සිදුවෙලා තිබෙන පාඩුව පිළිබඳවත් පරීක්‍ෂණක් කරන්න කියලා.

ජනවාරි මාසයේ 23වැනිදාට තමයි පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙන්නේ. නමුත් අපි කතානායකවරයාගෙන් ඉල්ලනවා, ඊට පෙර පාර්ලිමේන්තුව වහාම කැඳවන්න කියලා. ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළා, මූල්‍ය නීති ගණනාක් සම්පාදනය කරන්න අවශ්‍ය වෙනවා කියලා. ඒ නිසා පාර්ලිමේන්තුව කැඳවා මෙම නීති සංශෝධනයන් කඩිනමින් සිදුකර චූදිතයන්ට දඬුවම් දීමත් කඩිනම් කළ යුතුව තිබෙනවා. මොකද, මෙම වාර්තාවලින් විතරක් ජනතාවට වැඩක් වෙන්නේ නැහැ. මෙම දුෂිතයින්ට දඬුවම් ලබාදීම තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ. මෙම ගනුදෙනුව සිදුවෙලා වසර 3ක් ජනතාව බලාගෙන ඉන්නවා, දුෂිතයින්ට දඬුවම් දෙයි කියලා. මීට කලිනුත් ජනාධිපති කොමිෂන් වාර්තා විශාල ප‍්‍රමාණයක් ඉදිරිපත් වී තිබුණත් කිසිදු නීතිමය කි‍්‍රයාමාර්ගයක් අරගෙන නැහැ.

පහුගිය රාජපක්‍ෂ පාලන කාලයේ සිදුවූ බරපතළ මූල්‍ය වංචා පිළිබඳව විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් 2015 මාර්තු මාසයේ ස්ථාපිත කළා. එයින් විමර්ශනය කෙරුණු බරපතළ මූල්‍ය වංචා පිළිබඳ වාර්තා 17ක් මීට මාස ගණනාවකට ඉහතදී ජනාධිපතිවරයාට ලබා දුන්නා. පළමු වාර්තාව ලබා දුන්නේ පසුගිය 2016 මැයි මාසයේ. තවත් වාර්තා 17ක් මේ මස පළමුවැනිදා ජනාධිපතිවරයාට බාර දුන්නා. පළමු වාර්තාවෙන් හෙළිදරව් කර තිබුණේ මහින්ද රාජපක්‍ෂලා අයි.ටී.එන්. නාලිකාව අයථා ලෙස යොදාගෙන ලක්‍ෂ ගාණක පාඩුවක් සිදුකිරීම පිළිබඳවයි. නමුත් දැන් මාස ගණනාවක් වෙනවා කිසිදු නීතිමය කි‍්‍රයාමාර්ගයක් අරගෙන නැහැ. එනිසා අපි ආණ්ඩුවට බල කරනවා කඩිනමින් කි‍්‍රයාමාර්ග ගන්න කියලා. ඒ වගේම මෙම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා. මෙම වංචා, දුෂණ පිළිබඳ සියලූ තොරතුරු ජනතාවට ලබා ගැනීමට අයිතියක් තිබෙනවා. මීට කලින් කොමිෂන් සභා වාර්තාවලට සිදුවූ ඉරණම මහ බැංකු බැඳුම්කර වාර්තාවටත් සිදු නොවිය යුතුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here