TNA ඉන්නේ මනෝ ලෝකෙක…ඊලාම් රාජ්‍යයය සිහිනයක් විතරයි!

0

ඊලාම් රාජ්‍යයක් සිහියේ තබා ගනිමින් දෙමළ ජාතික සන්ධානය තවමත් මනෝ ලෝකයක ජීවත් වන බව ආනන්ද සංගරී හා සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් විසින් ගොඩ නෑගු දෙමළ ජාතික විමුක්ති සන්ධානය (TNLA) පවසා සිටියා.

දෙමළ ජාතික සන්ධානයට එරෙහිව යමින් තම සන්ධානය  ජනතාව සමඟ කටයුතු කරන්නේ  එදා එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් දෙමළ ජාතික සන්ධානයට ඉටු කිරීමට බලකරන ලද කරුණු ඉටු කිරීමට නොවන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

දෙමළ ජාතික සන්ධානයට එරෙහිව කටයුතු කිරීම සදහා පිහිටුවා ගත් මෙම නව සන්ධානයේ පළාත් පාලන මැතිවරණය සදහා එළි දක්වන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීමේ උත්සවයේදි එම සන්ධානය මේ බව සඳහන් කර තිබෙනවා.

උතුරේ වැසියන්ට නිතර නිතර මුහුණ පෑමට සිදුවන  විවිධ උණ රෝග ඇතුළු වසංගත රෝග මර්දනයට පියවර ගැනීම, කෘෂිකාර්මික කටයුතු නගා සිටුවීම හා ආහාර තාක්ෂණය දියුණු කිරීම,අතුරු මාර්ග ප්‍රතිසංස්කරණය,යුද අනාථයින්ගේ ගැටළු වලට ප්‍රධාන තැනක් දීම,ඉන්දියාවේ සිටින දෙමළ සරණාගතයින් ආපසු රැගෙන ඒම,වැන්දඹු කාන්තාවන්ගේ ප්‍රශ්න විසදීම,පාසල් දරුවන්ගේ පෝෂණය නඟා සිටුවීම ඇතුළු කරුණු 15 ක් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් විස්තර කොට තිබෙනවා.