ජනපතිගේ කතාවට අඬන්නද, සිනාසෙන්නද ජී.එල්ට ප්‍රශ්ණයක්

0

ජනාධිපතිවරයා පෙරේදා දිනයේදී කළ කතාව ඇසූ පුද්ගලයන්ට අඬන්නද, සිනාසෙන්නද කියලා සිතාගන්න නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පොරමුණෙ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් පවසයි.පුංචිබොරැල්ල වජිරාශ්‍රමයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්ය ජී.එල් පීරිස් සදහන් කළේ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට විරුද්ධව නඩු පැවරිය නොහැකි බවයි.

“අර්ජුන් මහේන්ද්‍රන් මේ රටේ පුද්ගලයෙක් නොවන නිසා ඔහුට විරුද්ධව නඩු පැවරීමේ හැකියාවක් නැහැ. ඔහු දැනටමත් ලංකාවේ නැහැ. ඔහු පිටුවහල් කරන ලෙසට සිංගප්පූරුවෙන් ඉල්ලීමක් කළ යුතුයි. ඒක සංකීර්ණ ක්‍රියාවලියක්. අර්ජුන් මහේන්ද්‍රන් මේ රටට එවන්න ඔවුන් බැඳිල නැහැ. ඒ නිසා තමන් කියන කතාවල කිසිම හරයක් නැති බව ජනාධිපතිවරයා හොඳාකාරවම දන්නවා.”

“බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මේ ඉදිරිපත් කළ තක්සේරුව අපි පිළිගන්නේ නැහැ. මේක ලෝක විහිළුවක්. මේ අලාභය කිසිසේත්ම අයකර ගැනීමට හැකියාවක් නැහැ. මේ මුදල් මේ වනවිටත් අපේ රටේ නැහැ. ඒවා තියෙන්නේ සිංගප්පූරුවේ බැංකුවලයි. පවතින නීති හෝ අලුත් නීති යටතේවත් ඒ මුදල් නැවත ලබාගන්න බැහැ. අර්ජුන් මහේන්ද්‍රන්ට විරුද්ධව නඩු පවරන්න බැහැ. ඒ බව ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාත් දන්නවා. අවම වශයෙන් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ බලපත්‍රය තාවකාලිකව හෝ අත්හිටුවන ලෙසට අපි ඉල්ලීමක් කළේ ඒ නිසයි. නමුත් එවැනි පියවරක් ගත්තේ නැහැ. අශ්වයාට ගාලෙන් පනින්න අවස්ථාව සලසා දුන්නේ ජනාධිපතිවරයාමයි. ජනාධිපතිවරයාගේ මේ කතා අසමින් අර්ජුන් මහේන්ද්‍රන් හා අර්ජුන් ඇලෝසියස් සිනාසෙනවා ඇති. ”

“ජනාධිපතිවරයා පෙරේදා දිනයේදී කළ කතාව ඇසූ පුද්ගලයන්ට අඬන්නද, සිනාසෙන්නද කියලා සිතාගන්න බැහැ. බැඳුම්කර වංචාව එක්සත් ජාතික පක්‍ෂයේ ක්‍රියාවක් බව කියමින් සුදනා වීමට ජනාධිපතිවරයාට හැකියාවක් නැහැ. මහබැංකු අධිපති ධුරයට අර්ජුන් මහේන්ද්‍රන් පත් කළේ ජනාධිපතිවරයායි. ඒ නිසා සියල්ලටම ජනාධිපතිවරයා වගකිව යුතුයි. ඇමැතිවරුන් නිර්දේශ කළ පමණින්ම ඒ පත්කිරීම් සිදු කිරීමට තරම් විධායක ජනාධිපතිවරයා රබර් මුද්‍රාවක් නොවිය යුතුයි. එවැනි පත්කිරීම්වලදී ජනාධිපතිවරයා ස්වාධීන මනසකින් ක්‍රියා කළ යුතුයි.”