බියර් මිල අඩු කළාට කසිප්පු අඩු වෙන්නේ නෑ……බොන්නේ නැති අයත් දැන් බොනවා

0

අයවැයෙන් බියර් මිල අඩු කිරීම නිසා මධ්‍යසාර භාවිත නොකරන මෙරට 80% ක පිරිසක් එයට යොමු වීමේ අවධානමක් මතු වී ඇති බව ශ්‍රි ලංකා අමද්‍යප මහ සභාව පෙන්වා දෙනවා.

එම සංගමය විසින් නිකුත් කරනු ලැබූ නිවේදනයක් මගින් පෙන්වා දෙන්නේ බියර් මිල අඩු කිරීමෙන් ළමුන් සහ තරුණ පරපුර බියර් භාවිතයට යොමු වීමේ ප්‍රවණතාවන් විද්‍යාත්මකවද සනාථ කර ඇති බවයි.

මෙවර 2018 අයවැයෙන් ඉදිරිපත් කර ඇති බියර් මිල අඩු කිරීම සහ බියර් අලෙවි කිරීමේ ස්ථාන පුළුල් කිරීමේ යෝජනාව ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාව දැඩි පිළිකුලෙන් ප්‍රතික්‍ෂේප කර සිටී. ඉතා හොඳ අයවැය යෝජනා අතර මෙවැනි බියර් සඳහා බදු අඩු කිරීම වැනි කරුණු, කිරි කළයකට ගොම මුසු කිරීම වැනිය. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට අසූවක් මද්‍යසාර භාවිත නොකරයි. එසේම සියයට අනූනවයක් කාන්තාවන් අතර මද්‍යසාර භාවිතය නොමැති අතර කුඩා පිරිමි ළමයාගේ සිට වැඩිහිටියා දක්වා වන පිරිමි ජනගහනයෙන් සියයට 65 ක් පමණ මධ්‍යසාර භාවිත නොකරයි. ඒ අනුව බියර් මිල අඩු කිරීමෙන් මෙසේ මද්‍යසාර භාවතිය නොමැති සියයට අසූවක ප්‍රමාණය මද්‍යසාරයට යොමු වීමේ විශාල අවදානමක් තිබෙන අතර බියර් මිල අඩු කිරීමෙන් ළමුන් සහ තරුණ පරපුර බියර් භාවිතයට යොමු වීමේ ප්‍රවණතාවන් විද්‍යාත්මකවද සනාථ කර ඇත.

සැබැවින්ම සිදුවිය යුත්තේ මධ්‍යසාර සඳහා ඇති රජයේ බදු මිල වැඩි කර බියර් ඇතුළු මද්‍යසාර මිල ඉහළ දැමීමයි. එවිට රජයට ලැබෙන ආදායමද අඩු වීමක් සිදු නොවේ. මද්‍යසාර භාවිතයද අඩුවේ. බියර් මිල අඩු වීම නිසා කසිප්පු භාවිතය අඩුවන බවට පිළිගත හැකි සාක්ෂි නොමැත. මෙයට පෙර ජී.එල්. පීරිස් ඇමැතිතුමාගේ අයවැයකින් බියර් මිල අඩු කළ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ බියර් භාවිතය දෙතුන් ගුණයකින් ඉහළ ගියත් කසිප්පු භාවිතයේ අඩුවක් සිදු නොවීය. නීති විරෝධී මත්පැන් භාවිතය අඩු වන්නේ ‍පොලිසිය සහ සුරාබදු දෙපාර්තමේන්තුව නිසි පරිදි තම රාජකාරිය සිදු කළහොත් පමණි.

තවද බියර් වැනි මධ්‍යසාර අලෙවි කරන ස්ථාන සුලබ වීම මගින් මද්‍යසාර භාවිතය වැඩිවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සිය අධ්‍යයනයන්ගෙන් පෙන්වා දී ඇත. වර්තමාන රජය ළමුන් සහ තරුණ පරපුරට හිතවත් ලෙස ප්‍රතිපත්ති තීරණ ගන්නේ නම් මෙම බියර් මිල අඩු කිරීමේ තීරණය සහ බියර් සුලබතාව වැඩි කිරීමේ තීරණය වහාම ඉල්ලා අස්කර ගත යුතුය. බුදුදහම මෙන්ම අන් සියලු ආගම්වල මද්‍යසාර භාවිතයේ ආදීනව පෙන්වා දී ඇත. ශ්‍රී ලංකාව තුළ මද්‍යසාර භාවිතය නිසා වසරකට 20,000 කට අධික සංඛ්‍යාවක් මිය යන බව පෙන්වා දී තිබේ. එනම් සෑම වර්ෂයකදී විසිදිහසක් පමණ මද්‍යසාර නිසා වැන්දඹු තත්ත්වයට පත්වන අතර ළමුන් 40,000 කට පමණ තම ආදරණීය පියාණන් අහිමි වේ.

කළ යුත්තේ මෙම ව්‍යසනය නතර කිරීමට නිසි ප්‍රතිපත්තියක් සකස් කිරීමය. එනම් මද්‍යසාර මිල වැඩිකර එහි සුලබතාව අඩු කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගැනීමය. මේ අනුව වහාම මිල අඩු කිරීම සහ සුලබ කිරීමේ වර්තමාන යෝජනාව ඉවත් කරන මෙන් සෑම ශ්‍රී ලංකාවාසීන් වෙතම ඇති කරුණා පූර්වක දැනුම්දෙමි.