ජනපතිගේ මලකඩ කෑ කඩුව ගම්මන්පිල අතට ගනි!

0

ජනාධිපතිවරයාගේ කඩුවෙන් කැපෙන අය බැලීමට සිට් පිරිසට සිදුවන්නේ චිත්‍රපටියක කමිං සූන් ට්‍රේලර් එකේ කඩු අරගෙන එනවා පෙන්නලා චිත්‍රපටිය බලන්න ගියාම එක සටන් ජවනිකාවක් වත් නැති වුණා වගේ වැඩක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පවසා සිටිනවා.

මන්ත්‍රිවරයා ඒ බව ප්‍රකාශ කළේ අද (08) පැවති මාධ්‍ය හමුවකදි  වූ අතර මන්ත්‍රීවයා, ඇතුළු පිරිස කඩු අරගෙන මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වී සිටියා.

එහිදි අදහස් පලකළ  මන්ත්‍රීවරයා,

“අද ජනවාරි අට. රට කෑ අට. රටට හෙටක් නැතිකල අට. මේ වැඩ බැරි පර ගැති හොරු පිරි ආණ්ඩුවට අදට වසර තුනයි.  අද වගේ දවසක තමයි මේ රටේ ජනතාව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට රට පාලනය කරන්න වරම දුන්නේ.  වෙනත් වචන වලින් කිව්වොත් ජාතික කොඩියේ ඉන්න සිංහයා අතේ තිබෙන කඩුව ජනාධිපතිතුමාට භාර දීලා අදට වසර තුනක් වෙනවා.  ජාතික කොඩියේ සිංහයා අත තියෙන කඩුව සංකේතවත්  කරන්නේ ජනතා බලය සහ යුක්තිය.  ජනතාව මේ කඩුව ජනාධිපතිතුමා අතට දුන්නේ ජනතාව වෙනුවෙන් යුක්තිය උදෙසා භාවිතා කරන්න.”

“අවාසනාවට අපේ ජනාධිපතිතුමා වසර තුනක් පුරාවට අලංකාරයට කඩුව අතේ තියා ගෙන හිටියා මිස වැඩක් අරන් නෑ. ජනාධිපතිතුමා කඩුව හරියට වැනුවා නම් ​බැඳුම්කර වංචාවට අගමැති කැපෙන්න ඕනෑ.  අල්ලස් වරදට රවි කරුණානායක මන්ත්‍රිතුමා කැපෙන්න ඕනෑ.  කැලෑ විනාශයට බදුර්දීන් ඇමතිතුමා කැපෙන්න ඕනෑ.  නමුත් එහෙම සිදුවෙලා නෑ.   ජනපතිතුමන් මීට සති දෙකකට පෙර ඔන්න මම කඩුව වනනවා  කවුරු කැපේ ද දන්නේ නෑ කියලා කිව්වාම සමස්ත ජාතියම මහත් බලාපොරොත්තු තබා ගෙන ජනවාරි තුන එතුමන් ජාතිය අමතනවා බලා ගෙන සිටියා. කඩු හරබයක් බලාපොරොත්තුවෙන්.  කඩුව නම් ඔහේ වැනුවා තමයි.  ඒත් කැපුනු කෙනෙකු නම් නෑ.  මේක හරියට කමිං සූන් ට්‍රේලර් එකේ කඩු අරගෙන එනවා පෙන්නලා චිත්‍රපටිය බලන්න ගියාම එක සටන් ජවනිකාවක් වත් නැති කඩු නැටුමක් පමණක් තිබුණා වගේ වැඩක්.”

“ජනාධිපතිතුමා අද සිටවත් හරියට කඩුව වනන්න සූදානම් නම් අන්න ටොප් ටෙන් දූෂණ පැමිණිලි දහය තවමත් අල්ලස් කොමිසමේ පුස් කකා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් එතුමන්ට ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්.”

“වසර තුනක් භාවිතා නොකර තිබිලා, බලන්න මේ කඩුව දැන් හොඳටෝම මලකඩ කාලා.  තව දුරටත් මෙහෙම කඩුව ජනපතිතුමන් භාවිතා නොකර තියා ගත්තොත් සිංහ කොඩියේ සිංහයාට ලැජ්ජා හිතිලා කොඩියෙන් බැහැලා කැලයේ හැංගෙන්න ඉඩ තිබෙනවා.”

“අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමාට බලය දෙන්න කැප වුණාට වසර තුනක් පුරා එජාපයට කළගුණ සැලකුවා හොඳටෝම ඇති. දූෂණ විරෝධිව කටයුතු කරයි කියන බලාපොරොත්තුවෙන් ඔබතුමාට සැබැවින්ම බලය දුන් ජනතාවට කළගුණ සැලකීමට දැන් වෙලාව හරි කියන එක ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා.”

“මේ ආණ්ඩුව ගත වුණු  මුසල තෙවසර විධියට තවත් දෙවසරක් ගත කළොත් අපට රටක් වත් රටට හෙටක් වත් ඉතිරි වෙන්නේ නෑ.  ඒ නිසා ආණ්ඩුවට ගෙදර යවන සටන පෙබරවාරි 10දා ආරම්භ කරන්න කියා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”

රාජගිරිය ගුවන් පාලම වැඩ බැරි කමේ සංකේතයක්

“අද දින ජනාධිපතිතුමා විසින් රාජගිරිය ගුවන් පාලම විවෘත කළා.  ආණ්ඩුවේ නායකයින් මේ පාලම හුවා දක්වන්නේ ආණ්ඩුවේ සංවර්ධනයේ සංකේතයක් ලෙසයි.  නමුත් ඇත්තෙන්ම මේ ගුවන් පාලම ආණ්ඩුවේ වැඩ බැරි කමේ සංකේතයක්. 2014 වසර වන විට පසුගිය රජය මේ පාලම හදන්න අවශ්‍ය තාක්ෂණික සැලසුම් සියල්ල සකස් කරලා අවශ්‍ය වියදමත් සොයා ගෙන තිබ්බේ.  රාජපක්ෂ ආණ්ඩුවෙන් ගනේමුල්ල, රාජගිරිය සහ පොල්ගහවෙල යන නගර වල ගුවන් පාලම් ඉදි කරන්න ඩොලර් මිලියන 49ක් ස්පාඤ්ඤ ආණ්ඩුවෙන් ලබා ගත්තා. පාලම සඳහා සියල්ල සූදානම් කර තිබිය දී  මේ ආණ්ඩුවට වසර තුනක් ගියා පාලම සම්පූර්ණ කරන්න.”

“ලෝකයේ ප්‍රබලතම ත්‍රස්තවාදි සංවිධානය පරාජය කරන්න රාජපක්ෂ ආණ්ඩුවට ගියේ අවුරුදු දෙකයි මාස අටයි.  මේ ආණ්ඩුවට ගුවන් පාලමක් හදා ගන්න වසර තුනක් ගියා.  මීටර් 533ක ගුවන් පාලමක් හදන්න අවුරුදු තුනක් යනවා නම් කණු මත ඉදි කළ යුතු කිලෝ මීටර් 100ට වඩා දිගින් වැඩි නුවර අධිවේගි මාර්ගය සම්පූර්ණ කරන්න ඒ ගණන්  හැදීම අනුව මේ ආණ්ඩුවට අවුරුදු 600ක් යාවි.”

අගමැති පික් පොකට් රංගනයක

“බැඳුම්කර වංචාවක් වුණා කියලා ආණ්ඩුව නිල වශයෙන් පිලි ගත්තේ බැඳුම්කර කොමිසමේ වාර්තාව ජනපති පිලි ගැනීම හරහා.  එතෙක් ආණ්ඩුවේ ඇමතිවරු පොත් ලිව්වේ පාද සටහන් යෙදුවේ වාද විවාද කලේ එහෙම හොරකමක් වුණේ නෑ කියලා.  ඒ නිසා ඒ වාර්තාව ගැන විවාද කරන්න වහාම පාර්ලිමේන්තුව කැඳවන්න කියලා අපි කතානායකගෙන් ඉල්ලුවා.  මෙන්න ඒ අතරේ අගමැතිතුමාත් එජාප සමුුළුව අමතමින් කියනවා වහාම පාර්ලිමේන්තුව කැඳවන්න.  දැවැන්ත වංචාවක් බැඳුම්කර වාර්තාවෙන් හෙලි වෙලා තිබෙනවා.  රාජපක්ෂවරු මේකට වගකිව යුතුයි කියලා.  ඒ කතාව අසා ගෙන ඉන්න කෙනෙකුට හිතෙන්නේ බැඳුම්කර වංචාව කියන්නේ රාජපක්ෂ යුගයේ සිදු වුණු වංචාවක්.  අගමැතිතුමා තමයි හොරු අල්ලලා තිබෙන්නේ කියා.”

“බැඳුම්කර  වංචාවේ අංක එකේ විත්තිකරු බවට පත්විය යුතු අගමැතිතුමාගේ මේ රංගනය සිහිපත් කරන්නේ පික් පොකට්කාරයෙකුගේ හැසිරීම.  පසුම්බිය සොරකම් කරගෙන දුවන අතරේ පික් පොකට්කාරයාම කෑගහනවා “මෙන්න හොරෙක් අල්ලපියෝ “ කියලා. ඒ වගේ  අගමැතිතුමා බැඳුම්කර වංචාව සිද්දකරල ඉවර වෙලා, මෙන්න බැඳුම්කර වංචාවක් සිද්ධවෙලා, ඒකෙ හොරු අල්ලන්න ඕනෑ. පාර්ලිමේන්තුවේ විවාද කරන්න ඕනෑ , රාජපක්ෂවරුන් වගකියන්න ඕනෑ කියන කොට  එතුමන් තුලින් රටේ  ජනතාවට පික්පොකට්කාරයෙකු සිහිපත් වීම නම් නතර කරන්න බෑ.”