ඇත්තු අහුවෙයි කියලා හිතුවට අහුවුණේ මී පැටව්නේ…., – අගමැති නටවන රූකඩ ගිරවා ජනාධිපතියි!

1

හොරකමක් ගැන හොයන්න තමන්ම පත් කළ කොමිසම් වාර්තාවක තෝරා ගත් කොටස් මාධ්‍ය ඉස්සරහට ඇවිත් ප්‍රකාශ කරන ලොව එකම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිනුවන්ගොඩ, මැඩෑමුල්ල කොට්ඨාසයේ පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

එහිදි අදහස් දැක්වූ මන්ත්‍රිවරයා,

“පළාත් පාලන මැතිවරණයට තියෙන්නේ තවත් මාසයක විතර කාලයක්. මේ මැතිවරණයේ දී අපට ජයග්‍රහණය ගැන කිසිම සැකයක් නැහැ. මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් යුක්ත අපේ පක්ෂය මේ මැතිවරණයේ දී අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා. ඒ ජයග්‍රහණයේ සුබලකුණු අද මෙතැනට රැස්වෙලා ඉන්න තමුන්නාන්සේලාගේ මුහුණෙන්ම අපට පෙනෙනවා.”

“මහින්ද මහත්තයා අප රටට ලබාදුන් දේවල් අපට කවදාවත් අමතක කරන්න බැහැ. වසර තිහක ත්‍රස්තවාදයෙන් රට නිදහස් කරපු නායකයා මහින්ද රාජපක්ෂයි. ඒ වගේම තමයි අපට සිහිනයක් වෙලා තිබුණු අධිවේගී මාර්ග, ගුවන්තොටුපළ, වරාය, ක්‍රීඩාංගණ මේ රටේ ඉදිකරලා රටම සංවර්ධන යුගයකට ගෙනගිය නායකයාත් මහින්ද රාජපක්ෂයි.”

“මහින්ද රාජපක්ෂ කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නායකයෙක්. ඒකට දැන් ඉන්න නායකයෝ දිහා බලන්න. සමහරු නායකයන්ට වඩා ජෝකර්ලා වගෙයි. මම දැක්කා ළඟදි දවසක් අගමැතිවරයා කොහෙද උත්සවයක දඟර නැටුමක් දානවා. බලන්න හිරිකිතයි. ඒ එක නායකයෙක්. අනෙක් නායකයා තමයි බැඳුම්කර කොමිසමේ මාධ්‍ය ප්‍රකාශකයා.”

“තමන් පත්කරපු කොමිසමේ වාර්තාව තමන්ම මාධ්‍ය ඉස්සරහට ඇවිත් කියවන ජනාධිපතිලා නම් අපි මේ රටේ තියා ලෝකේ කොහේවත් දැකලා නැහැ. වාර්තාව ලැබුණා නම් ඒක සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා මිසක් මාධ්‍ය ඉස්සරහට ඇවිත් ඒකේ තෝරගත්තු ටිකක් විතරක් ගිරවෙක් වගේ කියවන්න නම් ජනාධිපතිවරයෙක් අවශ්‍ය නැහැ.”

“ජනාධිපතිවරයාට ඕනේ වුණේ මේ බැඳුම්කර කොමිසම පත් කළේ මම කියලා ජනතාවට මතක් කරවගෙන ඉදිරි ඡන්දෙදි පොඩි වාසියක් ගන්නයි. හැබැයි ඇත්ත කතන්දරේ තමයි උන්නැහේ ජනතාවගෙන් තිබ්බ ලකුණු ටිකක් දැන් කපාගෙන ඉවරයි කියන එක. මොකද මිනිස්සු බලන් හිටියේ කොමිසමේ වාර්තාවෙන් දල ඇත්තු අහුවෙයි කියලා.දැන් බලනකොට අහුවෙලා තියෙන්නේ මී පැටව් ටිකක්. සිංගප්පූරුවේ ඉඳලා අර්ජුන් මහේන්ද්‍රන්ව ගෙනාපු අගමැතිවරයා කිසිම චෝදනාවක් නැහැ. අගමතිවරයා විතරක් නෙමෙයි අගමැතිගේ නිර්දේශය මත අර්ජුන් මහෙන්ද්‍රන්ව පත් කරපු ජනාධිපතිවරයාටත් මේ මහා කොල්ලය ගැන වගකීමක් තියනවා.”

“අගමැතිවරයා නීතියටත් පිටින් ගිහින් තමයි මුදල් ඇමැතිවරයා යටතේ තැබිය යුතු මහ බැංකුව තමන්ගේ යටතට ගත්තේ. අදටත් මහ බැංකුව තියෙන්නේ අගමැති යටතේ. මෙච්චර මංකොල්ලයක් වුණාට පස්සෙවත් ඒක නිවැරැදි කරන්න ජනාධිපතිවරයාට හයියක් නැහැ. ජනාධිපතිවරයා අගමැති යටතේ නැටවෙන රූකඩයක් බවට පත් වෙලා ඉවරයි.”

Prasanna Ranatunga

 

1 COMMENT

Comments are closed.