හොරු පන්සල්, පල්ලි යන්නේ භක්තියට නෙමෙයි…..,බුදුහාමුදුරුවෝ තුන් පාරක් වැඩලත් හදන්න බැරිවුණ රටක් මේක

0

ලංකාවෙ පාලකයො වැඩි දෙනෙක් පන්සල්, පල්ලි එක්ක සමීප වෙලා භක්තියක් ඇති බවක්  පෙන්නුවට ඒ භක්තිය නොව හොරාගේ ස්වභාවය බවත්  හොරු ඔවුන් ධර්මයට කිට්ටු බව පෙන්වීමට ඉතා කැමති බවත් ජිප්සීස් නායක සුනිල් පෙරේරා පවසනවා.

‘දූෂණයෙන් තොර ගමක්’ යන තේමාව යටතේ පසුගිය ජනවාරි 03 වැනිදා කොළඹ තැපැල් අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී පවත්වන ලද සම්මන්ත‍්‍රණය අමතමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

එහිදි අදහස් දැක්වූ සුනිල් පෙරේරා,

“මේ සියලු දෙනා අද මෙතැනට එකතු වෙලා ඉන්නෙ ‘දූෂණයෙන් තොර ගමක්’ කියන එක ගැන කතා කරන්න. ඇත්තටම ඒක කරන්න පුළුවන් ද කියන එක තමයි අපි මුලින්ම හිතන්න ඕනෙ. වැඩි දෙනෙකුගෙ අදහස නම්, ඒක කරන්න බැරි දෙයක් කියන එක. ඒ වෙනුවෙන් කරන මහන්සිය තේරුමක් නැති දෙයක් කියන එක. ඒත් ඒක එහෙම නෙමෙයි. හැම දේකටම උත්සාහ කරල බලන්න ඕනෙ. දූෂණය නැති කරන්න උත්සාහ කරන්නවත් හිතෙන්නෙ නැති තරමටම දූෂණයෙන් රට වෙළාගෙන ඉවරයි. ඒත් අපි උත්සාහ කරන්න ඕනෙ. එහෙම නැතිව කිසි දෙයක් වෙන්නෙ නැහැ.”

“මීට කලින් දෙදහස් පහළොව අවුරුද්දෙ ජනවාරි අට වෙනිදයින් පස්සෙ මමත් බලාපොරොත්තු වුණා, දූෂිතයන්ට, වැරැදි කරන අයට දඬුවම් කරයි කියලා. ඒත් කවුරු නිසා ද මම දන්නෙ නැහැ, ඒ දඬුවම් කරන එක නතර වෙලා තියෙන්නෙ. කිසිම දේකට, කිසිම කෙනෙකුට දඬුවම් කෙරුවෙ නැහැ. ඒත් එහෙම කියල නිකම් බලන් ඉන්නත් බැහැ. මොකද? රටේ මිනිස්සු ඉන්නෙ අන්ත අසරණ තත්ත්වයක. ඒ හින්දම රටේ මිනිස්සුත් කෑම පැකට් එකට, ටකරං තහඩු දෙක තුනකට ඡන්දෙ දෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒත් ඕනෙම කෙනෙකුට මේ ගැන තේරුම් කරල දුන්නොත් ටිකක් හරි ඒක තේරුම් ගන්නවා. මට තියෙන අත්දැකීම නම් එහෙමයි.”

:”ඒ වගේම එක පාරටම පාලකයො හොරකම් කරන එක නතර කරන්න බැහැ. ඒකත් තේරුම් ගන්න ඕනෙ. ඒකට කාලයක් යනවා. දැනට පුළුවන් වෙන්නෙ හොරකම් කරන එක අවම කරන්න. විශේෂයෙන්ම මේ ඡන්දය ඒකට අවස්ථාවක්. මේ ඡන්දය කියන්නෙ ආණ්ඩු පෙරළන්න පුළුවන් ඡන්දයක් නෙමෙයි. ඒත් දැන් අවස්ථාවක් ඇවිල්ල තියෙනවා, මෙතෙක් කල් ක‍්‍රියා කරපු විදිහ වෙනස් කරලා රටේ වෙනසක් ඇති කරන්න උත්සාහයක් දරන්න.”

“එක්දහස් නමසිය හතළිස් අටේ ඉඳන් අවුරුදු හැත්තෑවක්, පක්ෂ දෙකක් මේ රට පාලනය කළා. ලැබුණ දෙයක් නැහැ. ඒත් සමහර අය තාමත් කතා කරනවා “මොනව වුණත් ඒ අපේ පක්ෂෙ නෙ” කියලා. මට නම් ඒක තේරෙන්නෙ නැහැ. කාටද පක්ෂයක් ඕනෙ ? ඒ වෙනුවට මේ රටට හොඳ දෙයක් වෙන එක නෙමෙයි ද බලාපොරොත්තු වෙන්න ඕනෙ ?”

“ඒත් අවුරුදු හැත්තෑවක් එහෙම හොඳ දෙයක් සිද්ධ වුණේ නැහැ. එහෙම වෙලත් ඒ පක්ෂ දෙක දැන් කියනවා ආයෙත් දෙන්නලු. මම නම් කියන්නෙ මේ තුන්ගොල්ලන්ට නම් දෙන්න එපා කියලා. ඒ වෙනුවට වෙනසක් කරලා බලන්න. අඩුම ගානෙ ගමේ පාලනයවත් මේ දෙගොල්ලන්ට නොදී හිටියොත්, ඒ වෙනුවට වෙනසක් කරන්න පුළුවන් පිරිසකට ඒ පාලනය දුන්නොත් ගමේ සිද්ධ වෙන හොරකම් ටිකවත් නතර කරන්න පුළුවන් වෙයි.”

“මේ වෙන කම් ප‍්‍රාදේශීය සභාවලට හරි නගර සභාවලට හරි පත් වෙන අය ආවෙම හොරකමටම තමයි. ඒ ඇවිල්ල, පාරට ලයිට් ටිකක් දාල දෙනවා, බෝක්කුවක් දෙකක් හදනවා වගේ පොඩි පොඩි දේවල් ටිකක් කරලා එයාල හොඳට හැදෙනවා. තියෙන වරප‍්‍රසාද ටික ගන්නවා. ජනතාවට සේවය කරනවයි කියල කිසිම දේශපාලකයෙක් ඒ දේවල් නොගෙන ඉන්නෙ නැහැ.”

“ඒ විතරක් නෙමෙයි, ජනතා සේවයට කියලා ආපු අය කිසිම දෙයක් පගාවක් ගන්නෙ නැතුව කරල දෙන්නෙ නැහැ. ඒව නතර කරන්න ක‍්‍රමවේදයක් හදන්නෙත් නැහැ. නිලයට, බලයට නැත්නම් පගාවට තමයි හැම දෙයක්ම වෙන්නෙ. එහෙම විය යුතු නැහැ. මේ ළඟදි ඕස්ට්‍රේලියාවෙ අගමැතිවරයා ලයිෆ් ජැකට් එක දාන්නෙ නැතුව බෝට්ටුවකට නැග්ග කියලා දඩයක් ගහලා තියෙනවා. ඊට කලිනුත් වාහනේ සීට් බෙල්ට් දාල නැහැ කියල දඩ ගැහුවා. ඒකට හේතුව ඒ රටවල්වල ක‍්‍රමවේදයක් හැදිලා තියෙන එක. අගමැතිවරයාට වුණත් සිස්ටම් එකෙන් පිට යන්න බැහැ.”

“අනිත් එක තමයි ලංකාවෙ පාලකයො වැඩි දෙනෙක් පන්සල්, පල්ලි එක්ක සමීප වෙලා තියෙනවා. භක්තියක් වගේ පෙන්නුවට ඒ භක්තිය නෙමෙයි. ඒ තමයි හොරාගේ හැටි. හොරු හරි කැමතියි ධර්මයට එයාල හරි කිට්ටුයි කියල පෙන්නන්න. ඒ විතරක් නෙමෙයි, හොරු කතා කරන්නෙත් ගොඩක් වෙලාවට ධර්මය ගැන. බුද්ධාගම ලෝකෙටම ප‍්‍රචලිත කරන්න ඕනෙ කියල තමයි කියන්නෙ. කරන්න ඕනෙ ලෝකෙට ප‍්‍රචලිත කරන එක නෙමෙයි, ලංකාවෙ ප‍්‍රචලිත කරන එක. මොක ද? මෙහෙ තමයි බුද්ධාගම නැත්තෙ. ගොඩක් රටවල පිළිම නැති වුණාට බුද්ධාගම තියෙනවා. ඒක තමයි බුදුහාමුදුරුවො තුන් පාරක් මෙහෙට ආවෙ. තුන්පාරක් ඇවිල්ලත් මෙහෙ අයව හදන්න බැරුව ගියා. ඒ වුණාට උදේ ඉඳන් ? වෙනකම් ධර්මය ගැනම කියවනවා. ධර්මයට අනුව වැඩ කරන්නෙ නැහැ. ඒ තත්ත්වය කොයි තරම් පිරිහිලා ද කියනවා නම් මොන හොර වැඩේ කළත් දඬුවම් කරන්න එපා කියන ඇතැම් ස්වාමීන් වහස්සේලා පවා නිර්මාණය වෙන තත්ත්වයට පත් වෙලා.මේ වෙලාවෙ තියෙන තත්ත්වය වෙනස් කර ගන්න උත්සාහ කරන්න. ගමෙන් ඒ දේ පටන් ගත්තොත්, ඉදිරියේ දි රටෙත් ඒ තත්ත්වය ඇති කර ගන්න පුළුවන් වෙයි. වෙනසක් කර ගන්න පුළුවන් වෙයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here