ආ මග කෙටියි, යායුතු මග දුරයි…., යහපාලනය රකින්න දුන් පොරොන්දු අමතක නෑ

0

වසර තුනකට පෙර එක්සත් කළ පරමා දර්ශිත්වය හා දැක්ම කෙරෙහි තවමත් කැපවී සිටින බවට සහතික වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් අගමැතිවරයා පවසා සිටියේ එකමුතුවෙන් ලබාගත් ජයග්‍රහණයන් සැමරීම සඳහා පමණක් නොව ඉදිරියේ ඇති බාධක අභිබවා යාමට ද එකමුතු විය යුතු බවය.

අගමැතිවරයාගේ සම්පූර්ණ නිවේදනය,

“දූෂිත සහෝදර සමාගමක ග්‍රහණයෙන් රට මුදවා ගෙන ජාත්‍යන්තර ප්‍රජාවේ සාඩම්බර සහ ස්වාධීන සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීම උදෙසා නැගුණු ජනහඬ ට ප්‍රතිචාර දක්වමින් මා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2014 නොවැම්බර් මස 21 වන දින යහපාලනය සඳහා වූ ව්‍යාපාරය වෙනුවෙන් අත්වැල් බැඳගන්නා ලදී.

අපගේ පොරොන්දුව වූයේ රට නිවැරදි මඟට ගැනීමට නම් 2015 ජනවාරි 8 වැනිදා අපට ඡන්දය ලබා දෙන ලෙසය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනංවා, රජයේ අනුග්‍රහය සහිතව සිදු කෙරුණු නීති විරෝධී ප්‍රචණ්ඩත්වය මුලිනුපුටා දමා, අපගේ නීති පද්ධතියේ සහ අපරාධ නීති පද්ධතියේ ස්වාධීනත්වය සහ ගෞරවය රැක ගැනීමට එහිදී අප පොරොන්දුවීමු. එම ගමන සාර්ථක කරගැනීමට තව බොහෝ දුර යායුතු වුවත්, මේ දක්වා පැමිණි ගමනේදී මුහුණදුන් බාධක සහ අභියෝගවලට සාර්ථක ලෙස මුහුණදුන් ආකාරය පිළිබඳව අපට බොහෝසෙයින් සතුටු විය හැකිය.

ආණ්ඩු බලය හිමිකරගෙන වසර තුනක් ඇතුළත සම්මුතිවාදී රජය 17 වන සංශෝධනය ක්‍රියාවට නංවමින්, ව්‍යවස්ථාදායක සභාව සහ ස්වාධීන කොමිසම් පිහිටුවීම මගින් පොලීසිය, අධිකරණය සහ රාජ්‍ය සේවය පුළුල් කර තම දේශපාලනික ස්වාමීවරුන්ගේ අණට නතු නොවී හෘදසාක්‍ෂිය මත කටයුතු කර තීරණය ගැනීමේ නිදහස ලබාදෙන ලදී.

ශ්‍රී ලාංකික පුරවැසියන් හට තොරතුරු දැනගැනීම සඳහා වන අයිතිය තහවුරු කරමින් නීති සම්මත කිරීමට අපි කටයුතු කර ඇත. එසේම අපරාධවලට ගොදුරුවූවන්ගේ සහ නීතියේ ඉදිරියේ සාක්‍ෂිකරුවන්ට සහාය සහ ආරක්‍ෂාව සඳහා වන අයිතිය ද අප මේ වන විට තහවුරු කර හමාරය. රාජ්‍යයට එරෙහිව සිදු කෙරෙන සංකීර්ණ මූල්‍ය අපරාධ විමර්ශනය කර නීතිය ඉදිරියට පමුණුවාලීම සඳහා රටේ ඉතිහාසය තුළ ප්‍රථමවරට පොලීසියට බලය ලබා දී තිබේ.

මෙම කර්තව්‍යයන් සාර්ථක කර ගැනීමෙහි ලා සම්මුතිවාදී රජය පෙරමුණ ගනිමින් සිටින අතරතුර මීට පෙර සෑහෙන කාලයක් රටේ එක් කොට්ඨාශයකට සැබවින්ම එක් පවුලකට පමණක් සීමා වූ, විධායකය සතු අසීමිත බලය හා වරප්‍රසාද ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඒවා සැබැවින්ම හිමි ජනතාවගේ ස්වාධීන හිමිකරුවන්ට ලබාදීමට කටයුතු කර ඇත.

මේ දක්වා අප කෙතරම් ජයග්‍රහණ ලබා තිබුණ ද, දශකයකට අධික කාලයක් පුරා පැවැති භීෂණ සංස්කෘතිය තුළ පෑරුණු තුවාල සුවපත් කරමින් යුක්තියේ නාමයෙන් රට සුවපත් කිරීමට තවත් කළ යුතු දෑ බොහෝ ය. අප සටන් කළේ, දූෂණයට සහ තනි පවුලක සිතැගියාවන් වෙනුවෙන් වහල් භාවයට පත් කර තිබූ රටේ සමස්ත රාජ්‍ය සේවයම ඉන් මුදවාගෙන, සුදු වෑන් සහ ඝාතක කල්ලි යොදා ගනිමින් සිදුකළා වූ මාධ්‍ය මර්දනයට එරෙහිව ය.

භීෂණ සංස්කෘතියේ උච්ඡතම අවස්ථාවක එහි ගොදුරක් බවට පත් වූ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමසතුංග මහතා සිය අවසන් කතුවැකියේ සමස්ත රාජ්‍ය යාන්ත්‍රනය මහින්ද රාජපක්‍ෂගේ පවුල විසින් හැසිරවූ අයුරු මනාව සඳහන් කරන ලදී. මරණය පෙනි පෙනී ලියන ලද බව එම කතුවැකිය තුළ “මගේ දුවට සහ පුතාට තම පියා අහිමි වූ විට මෙම රාජ්‍ය යාන්ත්‍රනයේ සාර්ථක ක්‍රියාකාරීත්වය සියලූ දෙනාම වටහා ගනු ඇත” යනුවෙන් හෙතෙම ලියා තැබූවේය.

අද වන විට ලසන්ත වික්‍රමතුංග ඝාතනය වී වසර 9 ක් ද ජාතික ආණ්ඩුව බලයට පත්වී වසර 3 ක් ද ගෙවී ගොස් හමාර ය. රාජපක්‍ෂ රෙජිමය පැවැති අඳුරු සමයේ රජ කළ මිනීමරුවන්ට එරෙහිව යුක්තිය ඉටු කරන බවට අපි ප්‍රතිඥා දුන්නෙමු. මාධ්‍යවේදීන්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළවුන්ට එරෙහිව යුක්තිය ක්‍රියාත්මක කරන බව අවධාරණය කළෙමු. එම අරමුණු වෙනුවෙන් තවදුරටත් රජය කැපව සිටින්නෙමු. එය අත්‍යවශ්‍ය වූ පියවරක්ම ය.

2015 ජනවාරි 8 වන දින ඔබගේ ඡන්දය ප්‍රකාශ කරමින්, ජනාධිපතිතුමාත්, අප කෙරහිත්, ඔබ විසින් තැබූ විශ්වාසයට ස්තතූතිවන්ත වන අතර, වසර තුනකට පෙර අප එක්සත් කළ පරමා දර්ශිත්වය හා දැක්ම කෙරෙහි තවමත් කැපවී සිටින බවට සහතික වන්නෙමු. අප මේ දක්වා එකමුතුවෙන් ලබාගත් ජයග්‍රහණයන් සැමරීම සඳහා පමණක් නොව ඉදිරියේ ඇති බාධක අභිබවා යාමට ද අප එකමුතු විය යුතුමය.”

Ranil Wickremesinghe

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here