රජ සමයට හිමිකම් කියන පුරාවිද්‍යාත්මක වටිනාකමකින් සමන්විත මල්විල පුදබිම නුදරේදී ඉඩම් හිමිකරුවන්ගේ ගොදුරක් වෙයිද?

0

එකල රජ දවසට උරුමකම් කිවූ ප්‍රෞරාණික මෙන්ම ඵෛතිහාසික වැදගත්කමකින් සමන්විත පුරාවිද්‍යාත්මක වටිනාකමක් හෙබිවූ මල්විල පුරාණ රජ මහා විහාරය මේ වන විට නිධන් සොරුන්ගේ සහ ඉඩම් මංකොල්ලකරුවන්ගේ පාරාදීසයක් බවට නතුවෙමින් දිනෙන් දින පරිහානියට ලක්ව විනාශ මුඛයට පත්ව ඇති බව කියයි.

වනාතවිල්ලුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශයට අයත් සාලියපුර, මල්විල පුරාණ රජ මහා විහාරය පුරාවිද්‍යාත්මක සංරක්ෂිත මධ්‍යස්ථානයක් ලෙස නම් කර තිබුණද, මේ වන විට එහි කිසිදු නඩත්තුවක් හෝ ප්‍රතිසංස්කරණයක් නොකර තිබිම හේතුවෙන් මේ වන විට එකී ඵෛතිහාසික පුදබිම විනාශ මුඛයට නතු වෙමින් තිබෙන බව එහි ගිය අපට දක්නට ලැබුණි.

අක්කර 50ට ආසන්න භූමි භාගයකින් සමන්විත මෙම විහාර භූමිය තුළ එකල රජ සමයට උරුමකම් කියන ප්‍රෞරාණික මෙන්ම ඵෛතිහාසික වැදගත්කමකින් සමන්විත වූ අඩි 50ක් පමණ උසකින් සමන්විත ගරා වැටුන චෛත්‍යක අවශේෂ වූ නටඹුන් ඇතුළු කොරවක් ගල්, පාදම් කණු, සදකඩ පහන්, සහ තවත් බොහෝ දෑ එහි තැනින් තැන වැළලී ගොස් ඇති බව අනාවරණය වේ.

මෙම විහාරය අනුරාධපුර යුගයට අයත් විහාර අතරින් තවත් එක් විහාරස්ථානයක් බවට තහවුරු වී ඇති බව ගම්මුන් පෙන්වා දෙති. ජනප්‍රවාදයේ සදහන් පරිද්දෙන් මුඛ පරම්පරාවේ සිට විවහාරයේ පැවත එන කතා අතරින් පැරැන්ණන් පෙන්වා දෙන්නේ මෙම විහාරය සාලිය අ‍ශෝක මාලා විසින් එකල ඉදිකර ලද්දක් බවයි. ඒ අනුව එම දෙපළ පැන් ස්නානය කිරීම සදහා සාදන ලද පොකුණෙහි අවශේෂ වූ නටඹුන් අදටත් දැක ගත හැකිය.

මෙම පුදබිම වටා දුර්ලභ ගණයේ ඖෂධ ශාක නිරන්තරයෙන් දක්නට ලැබෙන අතර, කොතළහිඹුටු මෙහි විශේෂිතව හටගන්නා ඖෂධීය ශාකයක් ලෙස හැදින්විය හැක. තවද දැවැන්ත වනස්පතීන් අතර, පලු, කළුවර, වීර, බුරුත, කළුමැදිරිය වැනි ශාකද දක්නට ලැබේ.

නමුත් ඉතා මෑතක සිට මෙම පුදබිමට අයත් රක්ෂිත ඉඩම් තුලට නීති විරෝධිව ඇතුළත් වන සංවිධානාත්මක ඉඩම් කොල්ලකරුවන් විසින් ඉවක් බවක් නොතකා නිරපරාදේ රක්ෂිතයේ පිහිටි දුර්ලභ ගස් කපා විනාශ කරමින් එහි පදිංචියට පැමිණ තිබීම නිසාවෙන් නුදුරේදී මෙම පුදබිමද මොවුන් විසින් අත්පත් කර ගැනීමේ වෑයමක් දක්නට ලැබේ.

රක්ෂිතයේ පිහිටි දැවැන්ත ශාක කාර්යක්ෂම ජංගම කියත් ආධාර කරගනිමින් කපා බිම හෙළන මොවුන් පසුව ඒවා අලෙවි කිරීමේ සූක්ෂම ජාවාරමකද නිරතවන බවට තොරතුරු අනාවරණය වී තිබේ.

එපමණක්ද නොව පසු ගිය සමයේ මෙම පුදබිමේ ආරක්ෂාව පිණිස සිවිල් ආරක්ෂක බලකාය එහි මුරසංචාරය සදහා අනුයුක්ත කර තිබුණද මේ වන විට එකී රාජකාරිය නැවතීම හොරුන්ට තවත් රුකුලක්ව තිබේ. මේ හේතුව නිසාවෙන් එහි පිහිටා ඇති නිධන් වස්තු නිධන් සොරුන්ගේ ග්‍රහණයට නතුවෙමින් තිබෙන ආකාරයක් දක්නට ලැබේ.

එපමණක් නොව පුරා විද්‍යා දෙපාර්ත්තුමේන්තුව විසින් ඉදිකර ඇති ගොඩනැගිලි කිහිපයක් මේ වන විට කැලෑ වැදී වල්බිහිවී තිබීම නිසාවෙන් එය සංරක්ෂණය කිරීමට තවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කල යුතු බවයි ජනතාව පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් අප කල විමසුකදී වනාතවිල්ලුව ප්‍රාදේශිය ලේකම් සංජීවනී හේරත් මහත්මිය පවසා සිටියේ මෙවැන්නකි.

ඇත්ත වශයෙන්ම ඔය කියන ස්ථානය පුරාවිද්‍යා වටිනාකමකින් සමන්විත ස්ථානයක් ඒ නිසා අපි කිසිම පුද්ගලයෙකුට අනවසරෙන් පදිංචි වෙන්න කිසිදු ආකාරයකින් අවසරයක් දෙන්නෙ නැහැ. ඉතිං මට කලින් තොරතුරු අනාවරණය වුණා මේ පුදබිමේ අනවසරෙන් කිහිප දෙනෙකු පදිංචි වෙලා ඉන්නවා කියලා අපි එයාලට එම ස්ථානයෙන් වහාම ඉවත් වෙන්න කියලා ලිඛිතව දැණුම් දීම් කරලා තියෙන්නෙ. ඒ විතරක් නෙමෙයි අපි මේ වෙද්දි ඒ පුද්ගලයින්ට විරුද්ධව නෛතික ක්‍රියා මාර්ග ගැනීමට අපි කටයුතු කරනවා. තවකාරණයක් ඔය කියන රක්ෂිත පුරාවිද්‍යාවටද අපිටද අයිති කියන එක තහවුරු කර ගැනීමේ ගැටළුවක් පැන නැගී තියෙනවා ඒ නිසා අපි වහාම ඒඉ පිළිබද දැණුම් දීම් කරලා තියෙනවා.

මේ සම්බන්ධයෙන් අප කල විමසුමකදී ටී.පී. ගුණතිලක මහතා පවසා සිටියේ මෙවැන්නකි.

පුතේ මේ විහාරයට ලොකු ඉතිහාසයක් තියෙනවා. මේක රජ කාලෙ ඉදලා පැවත ගෙන එන එකක් අද වෙද්දි මේ පන්සල නිධන් හොරු විනාශ කරගෙන යනවා මේවා නඩත්තු කරන්න කිසිම කෙනෙක් නැහැ පුතේ. පාසල් ළමුන්ට නරබන්න තියෙන එකම පුරාණ ස්ථානයක් තමයි අද මෙහෙම විනාශ වෙන්නෙ අප ඉතිං කියන්න කැමතියි මෙවැනි ස්ථාන පුරාවිද්‍යාව මගින් සංරක්ෂණය කරලා ජනතාවට නැරඹීමට ඉඩකඩ සලකසා දෙන්න කියලා. දැන් ඉඩම් හොරු මේක ටික ටික අත්පත් කරගෙන යනවා.

සටහන සේයා රූ

පුත්තලම කේ.ප්‍රියංකර

2018.01.10

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here