එදා සිරිකොතට ගල් ගහපු සෙට් එක අද ජනපති, අගමැති නොමග යවනවා….

0

එදා සිරිකොතට ගල් ප්‍රහාර එල්ල කළ පිරිස එකතු වී ද ජනාධිපතිවරයා හා අගමැතිවරයා නොමග යැවීමට කටයුතු කරමින් සිටින බව හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක පවසනවා.

ඊයේ (17) කොටහේන ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

“මම බය නැතුව අභියෝග කරන්නේ දැන් මේ බොන්ඩ් කොමිෂන් එකක් ගැන කතා කරනවා. තාම ඒ වාර්තාව ඉදිරිපත් කරලා නෑ. නොයෙක් නම් කියනවා අපේ නම අගමැතිතුමාගේ නම, මොනවද අපි කරලා තියන වැරදි. මේක වැඩ කරන එක්සත් ජාතික පක්ෂයට චරිත ඝාතනය කිරීමක් තමයි මේ ඇති කරලා තියෙන්නේ. ජනාධිපති කොමිසමේ වාර්තාව ඉදිරිපත් වුනාට පස්සේ අපිට පේනවා කොහේද මේ විකෘති කිරීම ඇති වෙලා තියෙන්නේ කියලා. මේ කල්ලියක් ඉන්නවා ජනාධිපති අගමැති නොමග යවන්න හදන. එදා එක්සත් ජාතික පක්ෂයේ සිරිකොතට ගල් ගහපු උදවිය තමයි මේ සුහදතාවය නැති කරන්න හදන්නේ,” මන්ත්‍රිවරයා පවසා සිටියා.

මේ අතර තොටළඟ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් මන්ත්‍රිවරයා පවසා සිටියේ සැබෑ වාර්තාව ඉදිරිපත් කිරිමෙන් පසුව එස්. බී දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත, දයාසිරි ජයසේකර සමග විවාද කිරීමට සූදානම් බවයි.