පාරෙන්, කාණුවෙන්, බෝක්කුවෙන් ඔබ්බට ගිහින් රට නොබෙදන්න ඡන්දය දෙන්න!

0

රට ෆෙඩරල් කෑලි නවයකට කඩන නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කරන කිසිදු දේශපාලන පක්ෂයකට මෙම පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය භාවිතා කිරීමෙන් වැළකි සිටින ලෙස එළිය සංවිධානයේ කැදවුම්කරු පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් අවධාරණය කරනවා.

ඊයේ (07) මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙම ඡන්දය සාමාන්‍ය ඡන්දයක් නොවන බවත්, පාරෙන්, කාණුවෙන්, බෝක්කුවෙන් ඔබ්බට ගිය ඡන්දය ලෙසට වටහා ගත යුතු බවත් ය.

එම මාධ්‍ය නිවේදනය….,

2018 පෙබරවාරි 7

මාධ්‍ය නිවේදනය

2018 පළාත් පාලන මැතිවරණය

මෙම ඡන්දය සාමාන්‍ය පළාත් පාලන මැතිවරණයක් නොවේ. මෙය පාරෙන්, කාණුවෙන්, බෝක්කුවෙන් ඔබ්බට ගිය ඡන්දයකි. මෙය වත්මන් ආණ්ඩුව මේ රට තුළ පසුගිය අවුරුදු තුනක කාලය මුළුල්ලේ ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල ගැන ජනතාව ගේ මතය උරගා බලන ඡන්දයකි. පසුගිය වසර තුනේ දි මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය අපේ රටට සෑම ආකාරයකින් ම අහිතකර එකක් වී ඇත. අද අපේ ආර්ථිකය මෙතරම් දුර්වල වෙන්නටත්, බදු බර සීග්‍රයෙන් වැඩි වෙන්නටත්, ජාතික සම්පත් විජාතිකයන්ට හිමි වෙන්නටත්, රට ජාතිය බේරා ගත් රණවිරුවන් අන්ත අසරණ තත්වයකට පත් කරන්නටත්, රටේ සභ්‍යත්වයට හා මහා සංඝරතනයට මීට පෙර කිසිදාක නොවූ ආකාරයට මහා අපහාස විදීමට සිදුවීමටත් වගකිව යුත්තෝ වත්මන් ආණ්ඩුවයි.

මේ රජයේ එක් ප්‍රධානම ඉලක්කයක් වන්නේ අපේ රටේ ඒකීයභාවය නැති කර ෆෙඩරල් ක්‍රමයක් හඳුන්වා දීමයි. දැනට මේ ප්‍රයත්නය යටපත් වී ඇත්තේ මෙම පළාත් පාලන ඡන්දය නිසාය. මේ ගෙන එන්නට හදන නව ව්‍යවස්ථාව රට කැබලි කිරීමට වෑයම් කරන අන්තවාදීන්ගේ අරමුණු ඉෂ්ඨ කරන, ජාතිවාදය වපුරන, රට අස්ථාවර කරන ව්‍යවස්ථාවකි. එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන පක්ෂ දෙකම, මේ නව ව්‍යවස්ථාවට ඔවුන් ගේ සම්පූර්ණ සහයෝගය දෙමින් සිටියි. මෙයට ජනතා විමුක්ති පෙරමුණෙනුත් සහය ලැබීම කණගාටුවට කරුණකි.

අසූවේ දශකයේ අග බාගයේ දි පළාත් සභා ක්‍රමයට විරුද්ධව එවක රජය හා ගැටීමෙන් අපේ රටේ තරැණ තරුණියන් දස දහස් ගණනක් මරණයට පත්කරමින්, ජවිපෙ මුළු රටම ඉතාම බිහිසුණු යුගයකට ඇද දැමු සැටි අප කාටත් මතකය. නමුත් අද ඔවුන්ගේ ප්‍රතිපත්තිය අංශක 180කින් වෙනස් කොට, පළාත් සභා ක්‍රමයෙන් බොහෝ ඔබ්බට ගොස් රට ෆෙඩරල් ඒකක නවයකට කඩන නව ව්‍යවස්ථාව වෙනුවෙන් දිවි හිමියෙන් පෙනී සිටින තත්වයක් ඇතිවී තිබේ.

මේ රට මුහුණ පා ඇති මේ උවදුරුකාරී තත්වයෙන් මුදවා ගැනීමට ඔබේ ඡන්දය භාවිතා කරන්න. මේ රට ෆෙඩරල් ඒකක නවයකට කඩන නව ව්‍යවස්ථාව ගෙන ඒමට වෙර දරණ දේශපාලන පක්ෂ වලට ඡන්දය දීමෙන් වැළකී සිටින්න. මේ පළාත් පාලන මැතිවරණයේ දි ඔබේ ඡන්දය රට කැබලි කරන නව ව්‍යවස්ථාවට විරැද්ධ පක්ෂ වලට පමණක් දී, රට මේ උවදුරින් බේරා ගැනීම අප සියළු දෙනා සතු වගකීම බව එළිය සංවිධානය වෙනුවෙන් සියළුම ඡන්දදායිකයන්ට මම සිහිපත් කර සිටිමි.

එළිය සංවිධානය වෙනුවෙන්

කැදවුම්කරු

පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙනේ පරිවේනාධිපති, ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here