කපුවන්ගෙන්, කේවට්ටයින්ගෙන් ආරාක්ෂා වී පර වීමට නොදි පොහොට්ටුව රැක ගන්න!

0

පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත උපදේශාත්මක සන්දේශයක් යවා  තිබෙනවා.

පොහොට්ටුව පර වීමට ඉඩ නොදී ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යාම සියළු දෙනාගේ වගකීම බවයි එමගින් උන්වහන්සේ පෙන්වා දී තිබෙන්නේ.

“එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කොට 56 මහා විප්ලවයක් ආරම්භ කළේය. එවකට බණ්ඩාරනායක චින්තනය මේ රටේ උන්නතියට පිටිවහලක් විය. එහෙත් බණ්ඩාරනායක අගමැතිතුමාගේ ඝාතනයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමියට උරුම වූ බව නොරහසකි.”

“ඉන්පසුව එහි නායකත්වය ඔබතුමාටද උරුම වූ බව සමස්ත රටවාසීන් දන්නා කරුණකි. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වූ සෑම අවස්ථාවකදීම ගරු මාදුළුවාවේ සෝභිත නාහිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ලබුදූවේ සිරිධම්ම නාහිමි, අස්ගිරි විහාර පාර්ශ්වයේ අනුනායක හාල්යාලේ සුමනතිස්ස නාහිමි, විජය කුමාරතුංග මැතිතුමා ඇතුළු අප එක්වී නාරාහේන්පිට අභයාරාමයේදී දීර්ඝ සාකච්ඡා කොට වෙන්වී ගිය, කැඩී ගිය සියලු දෙනා ඒකරාශි කළ බව අතීතයේ තතු දන්නෝ දනිති. ඉහත සඳහන් අප කිහිපදෙනා මහනුවර හාල්යාලේ සුමනතිස්ස නාහිමි වැඩ සිටි අස්ගිරි පන්සලට එකතු වී පවත්නා තත්ත්වය පිළිබඳ මනා සාකච්ඡාවක් පැවැත්වූහ. එහිදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඉදිරිපිට ලබුදූවේ සිරිධම්ම නාහිමි  මේ වෙන්වී කැඩී බිඳී ගිය පක්ෂය එකතු කිරීමට කටයුතු නොකළ හොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කළ යක්ෂණිය වශයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඉතිහාසගත වන බව එතුමියගේ මුහුණටම අභීතව ප්‍රකාශ කළහ.”

“ඒ උතුම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවතත් විනාශ කළ වර්තමාන ජනාධිපතිවරයාටද අපට කිවහැක්කේ එම වචනයයි. ඔහු සමඟ සාකච්ඡා කළ මොහොතක මා විසින්ද එතුමාට පැහැදිලි කර දුන්නෙමි. බණ්ඩාරනායක මැතිතුමා පිහිටු වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් අද නැත. අද ඇත්තේ ඩාලි පාරේ තිබෙන බෝඩ් ලෑල්ල පමණි. ඒ බෝඩ් ලෑල්ලෙන් ඇතිවූ අගතිය නිසාම නව පක්ෂයක් බිහිකර ගැනීමට හැකිවිය. එනම් පොහොට්ටුව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. ඒ පොහොට්ටුව තුළ මහජනයා තැබූ විශ්වාසය අද තහවුරු වී ඇත. ඉතාම කෙටි කාලයකින් විශාල බලයක් ලබාගැනීමට හැකිවූයේය. ඒ ඔබතුමාගේ නමටය. මේ තරම් ජනතා ප්‍රසාදයක් ලබාගෙන අසීමිත බලයක් ලබාගැනීමට හැකිවූ එකම පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවයි.”

“ලක් දෙරණ මත පිපී ඇති පොහොට්ටුව පරවීමට ඉඩ නොදී එය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑම අප සතු කාර්යයක්  වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්ධනය කරලීමට පියවර ගන්නා ලෙස පවසමින් රැස්වන කපුවන්ගෙන් සහ කේවට්ටයන්ගෙන් බේරී ඉහළට නැඟි ඉණිමඟ ආරක්ෂා කරගෙන ජනතාවගේ ඕනෑ එපාකම් ඉටුකරමින් පොහොට්ටුව ඉදිරියේ තබාගෙන ජනතා මෙහෙවරට කැපවන ලෙස මේ රටේ මා ඇතුළු මහ සඟරුවන ඔබතුමා කෙරෙහි තැබූ විශ්වාසය මේ ආකාරයටම පවත්වාගෙන යනු ඇතැයි මා විශ්වාස කරමි.” එම නිවේදනය පෙන්වා දෙනවා.