මහින්ද සුළඟට ඡන්ද ප්‍රතිශතය ගහගෙන ගිහිල්ලා…..!

0

පසුගිය පළාත් පාලන මැතිවරණයේදි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඡන්ද ප්‍රතිශතය පහළ බැස ඇති බව පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය පවසනවා.

ඊයේ (13) සමාජය හා සාමයික කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදි ඔහු සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයා 2005 මැතිවරණයේ දී ඡන්ද ප්‍රතිශතය සියයට 55.2 ක්‌ද, 2010 වසරේ දී සියයට 57.88 ක්‌ද, 2018 වසරේදි සියයට 44.65 දක්‌වා අඩුවී ඇති බවයි.

“ජනාධිපතිවරයා පොදු අපේක්‍ෂකයා ලෙස 2015 ජනවාරි 08 වැනිදා සියයට 47.58 ක්‌ ගෙන තිබුණත් මෙවර (2018) වසරේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමඟ මහින්ද රාජපක්‌ෂ මහතාට අයත් නොවන පිරිස සියයට 55.35 ක්‌ ඡන්ද ලබාගෙන තියෙනවා. ඒ අනුව බැලීමේදී පළාත් පාලන මැතිවරණය ජනාධිපතිවරණයක්‌ හෝ මහ මැතිවරණයක්‌ ලෙස සලකා බැලුවහොත් මහින්ද රාජපක්‌ෂ මහතා පරාජයට පත්ව ඇති බව පෙනී යනවා.”

“මේ මැතිවරණය පළාත් පාලන මැතිවරණයක්‌. මේක ආණ්‌ඩුව පරාජයට පත්වීම නිසා ජනාධිපතිවරයා හෝ පාර්ලිමේන්තුව වෙනස්‌ වෙන්නේ නැහැ. ඒ වගේම රජය විසුරුවාහැර නව මැතිවරණයක්‌ පැවැත්වීමේ අවශ්‍යතාවකුත් නැහැ. මේ පරාජය ආණ්‌ඩුව ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකිරීම නිසා ජනතාව විරෝධය පළකරමින් ඡන්දය ප්‍රකාශ කර අනතුරු ඇඟවීමක්‌ කර තිබෙනවා.”

“මේ ආණ්‌ඩුව 19 වැනි සංශෝධනයට අනුව වසර හතරහමාරක්‌ යන තෙක්‌ විසුරුවන්න බැහැ. කැබිනට්‌ ඇමැතිවරයෙක්‌ ඉවත් කරනවා නම් කැබිනට්‌ මණ්‌ඩලයෙන් විමසිය යුතුයි. මේ රජය, රජයේ සේවකයාට වැටුප් වැඩිකළා. ඉන්ධන, ගෑස්‌ ඇතුළු සහන රැසක්‌ ජනතාවට ලබා දුන්නා. නමුත් ආර්ථිකය කළමනාකරණය කරගන්න බැරිවුණා.”

“මේ පොහොට්‌ටුවෙන් පත්වෙච්ච අය අතර දූෂිතයෝ ඉන්නවා. දූෂිතයන්ගේ පවුල්වල චෝදනා තියෙන අය ඉන්නවා. පත්වෙච්ච සමහර අය ගමේ අය දන්නේ නැහැ. ආණ්‌ඩුව රට කඩන්න යනවා කියලා මේ අය කිව්වා. ඒවාට ආණ්‌ඩුව නිසි පිළිතුරක්‌ දුන්නේ නැහැ. ඒකත් පරාජයට බලපෑවා.” ඔහු සඳහන් කර සිටියා.