ඇපෙත් නැති වෙච්ච අය මන්ත්‍රි වෙන අරුම පුදුම මැතිවරණ ක්‍රමයක් මේක….!

0

අලුතින් හදුන්වා දුන් මැතිවරණ ක්‍රමයේ විකෘති බව පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පෙනී ගිය බැවින් නව මැතිවරණ ක්‍රමය අහෝසි කොට ගැලපෙන මැතිවරණ ක්‍රමයක් හදුන්වා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණි ලොකුගේ පවසා සිටිනවා.

බත්තරමුල්ල, නෙළුම් මාවත ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ අද (14) පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රිවරයා මේ බව පවසා සිටියා.

එහිදි අදහස් දැක්වූ මන්ත්‍රිවරයා,

“වත්මන් රජයේ වැඩ පිළිවෙළ වැරදියි කියා තැපැල් ඡන්දයේ දීම රජයේ සේවකයන් දන්වා තිබෙනවා. තැපැල් ඡන්දයේ සියයට 70 ක් විතර ලැබී තිබුණේ පොහොට්ටුවටයි. ඒ වගේම රටේ බහුතර ජනතාවත් පොහොට්ටුවට ඡන්දය දුන්නා.”

“මේ මැතිවරණ ක‍්‍රමයේ ඇති විකෘති භාවය මේ මැතිවරණයේ දී පෙනී ගියා. ශක්තිමත් පළාත් පාලන ආයතන පිහිටුවන්න බැරිවෙලා තිබෙනවා. ඇප මුදල් රාජසන්තක වූ අපේක්ෂකයන් මන්ත‍්‍රී වෙන ක‍්‍රමයක් මේ . ආසන නො දිනු ජවිපෙට මන්ත‍්‍රීකම් දෙන අතරේ දිනු අයට බෝනස් නැතිවෙලා තිබෙනවා.”

“ලැයිස්තුවේ නැති පරාදවුණ අපේක්ෂකයෝ ලැයිස්තු මන්ත‍්‍රිවරුන් ලෙස ගත්තොත් වෙන්නේ ඉදිරියේ දී ලැයිස්තුවට දාන්න කෙනෙක් දා ගන්න බැරිවෙන එකයි. මේ ආණ්ඩුව එදා ඉඳල කළේ ජාතික සම්පත් විජාතිකයින්ට විකුණන එකයි, දේශපාලන පලිගැනීම් කරන එකයි, රැකියා අහිමි කරන එකයි විතරයි. කම්කරු අණ පනත්වල තිබෙනවා වෘත්තිය සමිති නායකයින් මාරු කරන්න බැහැ කියලා. ඒත් ඒක නොදන්නවා වගේ වැඩ කළේ. වැඩිකල් නොගිහින් ජනාධිපති තීරණය කරාවි ජනවරම අහෝසියි කියලා. ඒ නිසා මැතිවරණයකට ගිහින් නව ජනවරමක් ගන්න සුදානම් විය යුතුයි. ‘‘

Gamini Lokuge