පක්ෂෙට විරුද්ධ තීරණ අරගෙන අහුවෙන්න එපා….එළවනවාමයි!

0

ඉදිරියේදි පළාත් පාලන ආයතන පිහිටුවීමේදි නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් තනි තීන්දු තීරණ අරගෙන කටයුතු කරලා තිබුණොත් හෝ පක්ෂ තීන්දුවලට පටහැණිව සභාපතිවරු, උපසභාපතිවරු තේරිමේදී ඡන්දය පාවිච්චි කරලා තිබුණොත්, කිසිදු සමාවක් එම මන්ත්‍රිවරුන්ට හිමි නොවන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා සිටිනවා.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ජනපති නායකත්වය දුන් දේශපාලන පක්ෂ හා සන්ධාන නියෝජනය කරමින් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව ජයග‍්‍රහණය කළ අපේක්ෂක අපේක්ෂිකාවන් සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සහ දිස්ති‍්‍රක් සංවිධායකවරුන් සමග අද (15) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ පැවති හමුව අමතමිනි.

එහිදි අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙලා ජයගෙන, අපේ ආරාධනය පරිදි පැමිණි සියලුම පළාත් පාලන ආයතනවල මන්ත‍්‍රීතුමන්ලා හා මන්ත‍්‍රීතුමියන්ලා ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම ඔබට මම සුබ පතමින් ආශිර්වාද කරනවා. ඒ වගේම මෙතැනට පැමිණි ජයග‍්‍රහණය කළ මන්ත‍්‍රීන් වගේම ජයග‍්‍රහණය නොකළත් අප සමගින් සිටි, අපේක්ෂක මහත්ම මහත්මීන්ට අපි ස්තුති කරනවා. කිසිකෙනෙක් අපට අමතක කරන්න බැහැ. ජයග‍්‍රහණය නොකළත් සෑම ගමකම අපේ නියෝජිතයෝ ඉන්නවා. ඒ නිසා අමතක කරන්න එපා දිනපු අය මෙන්ම තේරී පත්නොවුණ අයව මම අතාරින්නේ නැහැ. පක්ෂය හා ආණ්ඩුව විදියට ඒ අයට ජනතාවට සේවය කරන්න වැඩ පිළිවෙළක් හදනවා.”

“මැතිවරණයේ ප‍්‍රතිඵල පිළිබඳව කිසිසේත් අසතුටු වීමට හෝ පසුබෑමට, දුක්වීමට අවශ්‍ය නැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පවතින ලෝකයේ රටවල්වල දේශපාලන පක්ෂ පරාජය වීම, ජයග‍්‍රහණය කිරීම සාමාන්‍ය තත්වයක්. පක්ෂය විසින් ගන්නා තීන්දුවට බාහිරව, පක්ෂ තීන්දුවට විරුද්ධව කවුරු හෝ සභා පිහිටුවීමේදී අපේ මන්ත‍්‍රීවරු තනි තීන්දු තීරණ අරගෙන කටයුතු කරලා තිබුණොත්, පක්ෂ තීන්දුවලට පටහැණිව සභාපතිවරු, උපසභාපතිවරු තේරිමේදී ඡන්දය පාවිච්චි කරලා තිබුණොත්, කිසිදු සමාවක් නැහැ ඒ අයව ස්ථීරවම අස් කරනවාමයි. මේ පනත අනුව බොහොම පහසුයි ඉවත් කරන්න.”

“අපිට පැහැදිලි ප‍්‍රතිපත්තියක් තිබෙනවා. අරමුණක් තිබෙනවා. එහිදි සංහිඳියාව, ජාතික සමගිය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස මේ වගේ කරුණු ගණනාවක් ලැයිස්තුවේ තිබෙනවා. ජාතික දේශපාලනය වගේම ප‍්‍රාදේශීය දේශපාලනයේදී, පළාත් සභාවේ දේශපාලනයේදී, ඒ ලැයිස්තුවේ තිබෙන ප‍්‍රමුඛතාවය තමයි දූෂණය, වංචාව, හොරකම, නාස්තිය නැතිව රට දියුණු කරනවා කියන එක. මන්ත‍්‍රීවරුන් විදියට පත්වුණ ගමන්ම ලක්ෂ 50 ට, ලක්ෂ 100 ට වෙන්දේසි වෙනවා නම් අපේ අරමුණ කොතැනද? එහෙම වෙනවා නම් පළමුවැනි සභා රැස්වීමෙන්ම අපි දූෂිත වෙලා. මේ ප‍්‍රතිඵල දැකලා කණගාටු වෙන්න ඕන නැහැ. සිදුහත් තවුසාණෝ බුද්ධත්වය ලබලා පළමු ධර්මදේශනය කළේ පස් දෙනෙකුට. ඒ පස්වග මහණුන්ට. නමුත් වර්තමානයේ ලෝකයේ දහස් ගණන් ඉන්නවා බුදුන් දෙසූ ධර්මය අහන්න.”

“අපි සැලෙන්නේ නැතිව, බොහෙම පිබිදීමකින්, උනන්දුවකින්, ධෛර්යයකින් ඉදිරි දේශපාලන වැඩකටයුතුවලට මුහුණ දෙන්න ඕන. මම මැතිවරණයේදී කිව්වා වගේම සෑම දිස්ත‍්‍රික්කයකටම ගිහින් මේ ජයග‍්‍රහණය කළ මන්ත‍්‍රීවරුන්ට ඒ ප‍්‍රදේශ සංවර්ධනය කරන්න අපි ඒ අවශ්‍ය සම්පත් හා මුදල් කිසිදු අඩුවක් නැතිව ලබාදෙනවා. මම තව සති දෙකකින් මේ වැඩ පිළිවෙළට අමතරව මැතිවරණයේදී ප‍්‍රකාශ කළා වගේ අපේ දේශපාලන සටන්පාඨ වලින් දූෂණය, වංචාව, නාස්තියට විරුද්ධව පුළුල් ජාතික වැඩපිළිවෙලක් මම ආරම්භ කරනවා. ඒ සඳහා දේශපාලන නායකයින් පමණක් නොවේ, ආගමික නායකයින්, විද්වතුන්, කලාකරුවන්, මීට දායකත්වය දෙන සම්බන්ධ වීමට කැමති පිරිස් සම්බන්ධ කරගෙන මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයනවා. ජාතික වශයෙන් වැඩපිළිවෙළක් වගේම ඒ වැඩපිළිවෙළ සාර්ථක කරන්න අන්තර්ජාතික ජාත්‍යන්තර සහයත් මම ලබාගැනීමට බලාපොරොත්තු වන බව සඳහන් කළයුතුයි.”

Maithripala Sirisena