කැබ්නට් සංශෝධනය කරමින් පවතිනවා…..මෙම සතිය අවසානයේ ප්‍රකාශයට පත් වේවි….!

0

කැබිනට් සංශෝධනය මේ වන විට කරගෙන යන බවත් බොහෝ විට මෙම සතිය ඇතුළතදි සංශෝධනය වූ කැබ්නට් මණ්ඩල ප්‍රකාශයට පත් කිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

අද (21) උදෑසන පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කර සිටියා.

මේ දින දෙක ඇතුලත කැබිනට් සංශෝධනයක් වෙන්න පුළුවන් ද බැරිද?

“කැබිනට් සංශෝධනය දැනටත් කරගෙන යනවා හොදේ. ඒක නිවේදනය කරන දවසෙනේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ සතියේ නම් හිතන්න පුළුවන්. මේ සතිය ඉවර වෙන්න ඉස්සල්ල වෙයි කියලා.”

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විරෝධතාවය මොනවගේද? තාමත් ඔවුන් විටින් විට අගමැතිවරයා වෙනස් කිරීම සම්බන්ධයෙන් කියනවා.

“මට නම් ආරංචි නෑ කවුරුත් ඔහොම කියනවා කියලා. ඊයේ බොහෝම හොදට කැබිනට් මණ්ඩලයේදි අගමැතිතුමා එක්ක කතා කර කර සිටියා ඔය කට්ටිය. අගමැතිවරු දෙන්නෙකුත් එක තැන හිටගෙන කතා කර කර හිටියා.”

අපිට නම් එක අගමැතිතුමයි නිල වශයෙන් ඉන්නේ? කවුද අනෙක් නිල නොවන අගමැති?

“නෑ පහුගිය දවස්වල තමුන්නාන්සේලා වාර්තාක් කළානේ අපි දන්නේ නැති අගමැතිවරු. ඒ දෙන්නාත් ඊයේ බොහෝම හොදට කතා කර කර හිටියා.”

කවුද නිමල් සිරිපාල ඇමතිතුමාද?

“ඕක අහන්න ඕනද?”

දැන් විරුද්ධ පාර්ශ්ව කියනවා යහපාලන ආණ්ඩුවේ කාල සීමාව ඉවර වෙලා තියෙන්නේ කියලා. කතානායකතුමත් කිව්වා එතුමාට දැනුම් දීලා නෑ ඒ ගැන කියලා?

“ඒවා දේශපාලන තීන්දුනේ. යහපාලන රජය යනවාද නැද්ද කියන එක දේශපාලන තීන්දුවක්. එහෙම කිසිම නීතිමය ගැටළුවක් නෑ. එහෙම කොහේද නීතිමය ගැටළු තියෙන්නේ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ඒ පිළිබඳව ප්‍රශ්නයක් ඇති කරලත් නෑ. එක්සත් ජාතික පක්ෂයි ඒ පිළිබඳව ප්‍රශ්නයක් ඇති කරලත් නෑ. එතකොට තුන්වෙනි පාර්ශවයකට ප්‍රශ්නයක් නෑනේ ඒ දෙගොල්ල අතර ප්‍රශ්නය.”