කැබිනෙට්ටුව දීපන් ළමයෙකුට……!

0

පසුගිය දා අවසන් වූ පළාත් පාලන මැතිවරණය අවසන් වූයේ එම මැතිවරණය එන තෙක් බලාපොරොත්තු සහගත ව සිටි ජනතාවට තවත් ව්‍යාකූල කුතුහලයක් ඉතිරි කර දෙමිනි. පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය ආණ්ඩුව කිසිසේත් බලාපොරොත්තු නොවූවක් බවත් ජනතාව ආණ්ඩුව දුන්නේ කනේ පාරක් බවත් තහවුරු වන්නේ ආණ්ඩු පක්ෂයේ ම මැති ඇමතිවරුන්ගේ හත්පොලේ ගා ගත් ප්‍රකාශ ඔස්සේ ය.

පුංචි ඡන්දයක ප්‍රතිඵලයකට පවතින ආණ්ඩුවක් වෙනස් කළ නොහැකි බවට සිවු දෙසින් වහාසි බස් නිකුත් වූවද ඡන්ද ප්‍රතිඵලය ආණ්ඩුවේ ඇත්තන් කරකවා අත හැරිය බව නොරහසකී.ඡන්දය අවසන් වූ රාත්‍රියේ සිට ජනාධිපති නිල නිවසේ, අරලියගහ මන්දිරයේ හා වෙනත් තැන් වල රංචු වශයෙන් එක්වි ආරම්භ කළ සාකච්ඡාවන් හරියට සති දෙකකට ආසන්න කාලයක් පුරා ම පැවැතුණි. ඇත්ත වශයෙන්ම එම කාලය තුළ රට පුරා දේශපාලන අරාජිකත්වයක් නිර්මාණය වූ බව නම් පැහැදිලියි. ඒ දින කිහිපය පුරාම සෑම ප්‍රවෘත්ති ප්‍රකාශයකම තිබුණේ ප්තැන තැන පැවත්වුණු එම සාකච්ඡා වල තොරතුරු ය.

තත්ත්වය මෙසේ වෙද්දි ප්‍රකාශයක් නිකුත් කරමින් අගමැතිවරයා පවසා සිටියේ ජාතික ආණ්ඩුවේ ව්‍යවස්ථාපිත බලයලත් අගමැතිවරයා තවදුරටත් තමන් බවයි. එය එසේ වූවද අගමැතිවරයා ඉවත් කළ යුතු බවට ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් ජනාධිපතිවරයාට යෝජනා කරද්දි එක්සත් ජාතික පක්ෂයේ පිරිසක්ද අගමැතිවරයා වෙනස් කළ යුතු බවට යෝජනා කරනු ලැබීය. අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා හා කතානායක කරු ජයසූරිය අගමැති තනතුරට පත් විය යුතු බවට යෝජනාවන් ගෙන එද්දි ජනාධිපතිවරයා අගමැතිවරයා ඉවත් කිරීමට 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ලැබී ඇති බලය දැන ගන්නට ශ්‍රේෂ්ඨාධිකරණ මත විමසුමක් ද ඉල්ලා සිටියා.

ඒ අල්ල පනල්ලේ සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්ත පෙබරවාරි 14 වෙනි දා කැබිනට් හමුවේදි කියා සිටියේ එම සතිය තුළ කැබිනට් සංශෝධනයක් සිදු වන බවයි. එතැන් සිට රටේ දේශපාලනයට මොනවා වෙදැයි බලාගෙන ජනතාව මේ වන විට මොකද්ද වැටෙනකම් එළුවා පස්සේ ගිය නරියා වගේ සතියකුත් දින කිහිපයකුත් ගත කොට අවසන් ය. කෙසේ වෙතත් කැබ්නට් සංශෝධනය කල් යාමට රජය පාර්ශ්වයෙන් විවිධ කරුණු ඉදිරිපත් කළ අතර ඒ කරුණු අනුව පෙනි ගියේ රටට දැනෙන්නට සුපිරි වෙනසක් ඇති කළ කැබිනට් මණ්ඩලයක් සංශෝධනයයෙන් පසු බිහි වනු ඇති ය යන්නයි.

සියල්ලන්ගේම ඉවසීමෙන් බලා සිටීමට අවසානයක් එක් කරමින් අද උදෑසන කැබිනට් සංශෝධනය සිදු විය. ගොරවන තරමට වහින්නේ නෑ කියන පැරණි ගැමි කියමන යලිත් වතාවක් යථාර්ථයයක් බවට පත් කරමින් සංශෝධනය අවසානයේ රටේ බහුතරයකට හැගි ගියේ’මේ මොන විකාරයක්ද…කැබිනට් සංශෝධනය කියන්නේ මේකට ද…’ යන්න නම් හොදටම විශ්වාසය.

එය නිකම් නිකන් තනතුරු හුවමාරුවක් බවට පත් ව තිබුණේ මැතිවරණ වේදිකාවේ ජනාධිපතිවරයා නැගු අභීත හඩ පුස්සක් බවට පත් කරමිනි. හොරු එක්ක ආණ්ඩුවක් තවත් කරන්නේ නෑ කියා වහාසි බස් දෙඩවු ජනාධිපතිවරයා ජාතික ආණ්ඩුව තවත් ඉදිරියට ගෙන යාමට ගත් තීරණයටත් වඩා අපුලක් ඇතිවූයේ ඔහුගේම හඩින් මැතිවරණ වේදිකාවේ සඳහන් ආකාරය ආණ්ඩුව පත් වෙලා මාස තුනක් යන්නත් පෙර ලෝකයේ තියන ලොකුම හොරකමේ මහ මොලකරු ලෙස හදුන්වන රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට නීතිය හා සාමය අමාත්‍යධූරය ලබා දීම පිළිබඳව ය.

දැන් ඉතින් ජනාධිපතිතුමණි කඩුවක් මොටද….? ඕකෙන් කොස් කෙටුවා නම් ඔබතුමාගේ දුප්පත්කම නැතිකිරීමේ සංකල්පයවත් පෝෂණය වනු ඇති. මෙතෙක් කල් නීතිය හා සාමය සාගල රත්නායක සතු වූවද එහි නියම නූල තිබුණේ වික්‍රමසිංහ අගමැති අතේය. නමුත් අද සිට රටේ නීතිය හා සාමය හසුරුවන්න්ට අගමැතිට බෝනික්කන් අනවශ්‍යය. එසේම අනෙක් අමාත්‍යධූරයන්ද මහා වෙනසක් සහිතව වෙනස් වී නැත. අවුරුදු තුනක් එජාපය රටේ ආර්ථිකය විනාශ කළා යනුවෙන් පැවසු ජනාධිපතිවරයාට රටේ ආර්ථිකය මෙහෙයවන එකදු අමාත්‍යධූරයක් හෝ එජාපයෙන් ගැලවීමට හැකියාවක් නොමැති වීමත් හාස්‍යජනක ය.

එක්සත් ජාතික ප් ක්ෂ්aයේ බොහෝ මැති ඇමතිවරු පිරිසක් මේ කළ මුලාවට අකමැත්ත ප්‍රකාශ කර තිබේ. වසන්ත සේනානායක හා රවි කරුණානායක යන එජාප ප්‍රභලයන් පවසා සිටියේ කැබිනට් සංශෝධනය විහිලුවක් බවත් මෙවැනි සංශෝධනයයක් සිදු නොවූවානම් යහපත් බවත් ය.

කෙසේවෙතත් අද දින ලැබුණු බන්ධනාගාර හා පුනුරුත්තාපන රාජ්‍ය අමාත්‍යධූරය පිළිබඳව කළකිරීමට පත් අජිත් පී පෙරේරා නම් අරලියගහ මන්දිරයේ දි අද හවස් වන තුරු දුක් ගැනවිලි ඉදිරිපත් කොට හෙට උදෑසන සිට නැවතත් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව කැබිනට් සංශෝධනයයක් ලෙසජනතාව රැවටූ සංශෝධනයක් නොවන සංශෝධනයක් ගෙන ඒමෙන් රජය බලාපොරොත්තු වූයේ කුමක් වුවත් ජනාධිපතිවරයා සිය කාර්යය ස්වාධීනව හා කොන්ද කෙලින් තියාගෙන කිරීමට අපොහොසත් වූ බව නම් ජනතාවට පසක් කොට පෙන්වා අවසන්. ඒත් තවමත් සංදර්ශනය අවසන් නෑ. රට වෙනුවෙන් ජාතික ආණ්ඩුවට එකතු වූ ජනපති පාර්ශවය හෙවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයයේ ඇමතිකම් හුවමාරුවත් තව නොබෝ දිනකදී සිදු වීමට නියමිතයි. නමුත් වැඩි බලාපොරොත්තු ඕනෑ නෑ ඒකෙත් මහ වෙනසක් නම් නොවනු ඇති. මෙවැනිම තවත් ඇස්බැන්දුමක් විතරක් වනු ඇති. නමුත් 2020 ජනපති සිහිනයේ ගිලෙන ජනපති අගමැති දෙපලට මතක් කළ යුත්තේ පරමාධිපත්‍යය තවමත් ජනතාව සතුවන බවයි. වෙනස හොයපු මිනිස්සුම දවසක ඔවැනි වෙනස් වැඩ නිසා වෙනස් වනු ඇත.

ලංකා නිවුස් ඇලර්ට්