ලොවෙත් නැති එකෙක් මහ බැංකුවේ අධිපති වූ හැටි……!

0

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ලබා දී ඇති ලිපිනයේ නොමැති බව අධිවේගී තැපෑල ඩීඑච්එල් කුරියර් සේවය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුව වෙත වාර්තා කොට තිබෙනවා.

ලබන මාර්තු මස 08 වැනිදාට පෙර ලංකාවට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙන ලෙස දෙවැනි වරටත් නියම කරමින් කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න නිකුත් කළ නියෝගය අධිවේගී තැපෑල ඔස්සේ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට ලබා දීමට උත්සහ කළ අවස්ථාවේ දි යි ඔහු එම ලිපිනයේ නොසිටින බව අනාවරණය වී ඇත්තේ.

ලංකාවේ මහ බැංකු අධිපති ලෙස ලද පත් වීම් ලිපියේ හා ඊට අදාළ සේවා ගිවිසුම් වල සඳහන් ව ඇත්තේ අර්ජුන් මහේන්ද්‍රන් 201 cascaden road # 18-1 the tamlison Singapore ‎2497726 යන සිංගප්පූරු ලිපිනයේ ජීවත් වන බවයි. නමුත් හිටපු මහබැංකු අධිපතිවරයා කෙදිනකවත් එම ලිපිනයේ ජීවත් නොවු බවයි ලංකා නිවුස් ඇලර්ට් වෙත වාර්තා වූයේ. එසේ නම් ව්‍යාජ ලිපිනයක් ලබා දී අර්ජුන් මහේන්ද්‍රන් ලංකා රජය හා සියලුම රට වැසියන් ගොනාට අන්දවා තිබේ.

මහේන්ද්‍ර පත් කිරීමේ වගකීම රටේ උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුව තුළදි පිළිගෙන තහවුරු කළ වික්‍රමසිංහ අගමැතිවරයා තම ගජ මිතුරා ලබා දෙන්නේ බොරු ලිපිනයක් බව දැන සිටියාද? මේ පත් වීම සීදු කරන්නේ පාර අයිනේ තිබෙන රටකජු කරත්තයකට නොවේ රටේ සමස්ත ආර්ථිකය මෙහෙයවන රටේ ආර්ථිකයේ මුදුන් මුලටය. එහෙම තිබියදි සාමාන්‍ය රැකියාවක් සඳහා වුවත් පොලිස් සහතිකය අවශ්‍ය රටකට විදේශිකයෙකුට මහ බැංකුව බාර දුන්නේ මොන පදනමක් මතද යන්න අගමැතිවරයාගෙන් ප්‍රශ්න කළ යුතුය. එසේම පිං අගමැතිකම කරන ගමන් මෙවන් කුජීත තීරණයක් ගන්නට තරම් ආසියාවේ ඉන්න බුද්ධිමත් අගමැතිවරයාට හිතුනේ රටේ අවාසනාවටද?

පසුගිය මැතිවරණයේදි හැදුනුම්පත නොමැති වීම හැදුම්පතෙහි තොරතුරු මැකි යාම, රෑපය වෙනස් වීම වගේ අවස්ථා වලදිත් ඡන්දය භාවිතා කිරීමට ඉඩ නොදුන් රටක් මේක. එහෙම රටක මහ බැංකු අධිපති පත් කරද්දි ඔහුගේ අනන්‍යතාවය පෙන්වීමේ ලිපි ගොනුවත් පරීක්ෂා කිරීමට හෝ සහතික කළ පාස්පෝටි කොපියක් හෝ ලබා ගැනීමටවත් දැනුමක් නැති අඳ බාල පාලකයින් හා පරිපාලකයින් පිරිසක් සිටිනා ලංකාවේ තත්ත්වය ගැන නම් තවත් චරිත සහතික අදාළ ම නොවේ.

කෙසේවෙතත් දැන් අර්ජුන් මහේන්ද්‍රන් ආගිය අතක් නැත. ඔහු සෙවීමට වෙන මගක්ද නැත. සමහර විට ඔහු සිංගප්පූරුවේවත් නැතුව ඇති වෙනත් රටක වෙසෙනවා විය හැකිය. යහපාලන ආණ්ඩුවේ ඊලඟ වසර දෙක ගෙවා ගැනුමට ඔහු ඇල්ලීමේ මිෂන් එක ප්‍රමාණවත් වනු ඇත. එසේම 2020දේශපාලන වේදිකාවේ ප්‍රධාන සටන් පාඨයක් ලෙසට ‘අර්ජුන මහේන්ද්‍ර අල්ලා සිරගත කරමි’ ද එළියට එනු ඇති. තවදුරටත් ලංකාවේ ඡන්ද දායකින් බත් කන හරක් ලෙස සලකා මේ පාලකයින් අඥාන ක්‍රියා කරනු ඇති. ඒ සියල්ලම බලාගෙන තවදුරටත් නිහඩව සිටිය යුතුද යන්න ඔබේ තීරණයයි.