රතුපස්වල කට ඇරපු උන් රාජාංගනයේදි නිදිවැදිම සහ බල්ලාට ගිය රටේ පොලිසිය

0

නීතියේ ආධිපත්‍ය, අධිකරණ ස්වාධීනත්වය, මානව හිමිකම් ආරක්ෂා කිරීමේ පොරොන්දු උඩින් බලයට පත් වූ වර්තමාන යහපාලන ආණ්ඩුව ඉල්ලීම් වෙනුවෙන් පාරට බසින ජනතාවට කදුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරන ආකාරය පසුගිය අවුරුදු 3 පුරාම සුපුරුදු දසුනක් විය. පසුගිය රජයත් ජනතාවගේ ඉල්ලීම් වලට ජලප්‍රහාර හා කදුළු ගෑස් විසදුම ලබා දුන්නත් යහපාලනය ආණ්ඩුව ඒ පාරේම ගමන් කිරීම වඩාත් අප්‍රසන්න වන්නේ රතුපස්වල සිද්ධිය හරහා රොෂේන් චානකගේ මිනිය මතින් බලයට පැමිණීම නිසාවෙනි.

ඒ අනුව ආණ්ඩුවේ නවතම මානවහිමිකම් ප්‍රවර්ධනය පෙරේදා තඹුත්තේගම නගර මධ්‍යයේ දි අපිට දකින්නට ලැබුණි. ඒ ගොවියන් පිරිසක් එක්ව සංවිධානය කළ උද්ඝෝෂණයකට ඇමෝනියා ජල ප්‍රහාර හා කදුළු ගෑස් එල්ල කිරීම මගිනි. මෙම උද්ඝෝෂණය සංවිධානය කළේ එම ගොවින්ට තම වගාවන්ට ජලය සපයන රාජාංගනය ජලාශයේ ජලයෙන් පෞද්ගලික වතුර බෝතල් නිෂ්පාදනය කරනු ලබන සමාගමක් නව පානිය ජල බෝතල් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම නිසා රාජාංගනය ජලාශයේ ජලය මුදා හැරීම සීමා කිරිමට විරුද්ධවයි. වතුර වෙනුවෙන් සටන් කරන එම ගොවින්ට පන්නාගෙන ගොස් පහර එල්ල කරන පොලිස්කාරයින් හා පොලිස් අත්තඩංගුවේ සිටියදිත් මිනිසුන්ට පහර දෙන සිවිල් ඇදුමෙන් සැරසුණු පුද්ගලයන් ද මෙම ගැටුමේදි දක්නට ලැබුණි. එම පහර දීම හේතුවෙන් සැළකියයුතු පිරිසක් තුවාල වී ඇත. කෙසේවෙතත් මේ වන විට අත්තඩංගුවට ගනු ලැබූ ගොවියන් පිරිසෙන් 50 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

නව කැබිනට් සංශෝධනය යටතේ නීතිය හා සාමය ඇමතිකම වික්‍රමසිංහ අගමැතිට ලැබී සතියක් යාමටත් පෙර ප්‍රහාරය ජනතාවට එල්ල වීම විශේෂ කරුණකි. ජනාධිපතිවරයා නම් මෙය අද සමහර විට පත්තරෙන් දකින්නට ඇත. රට හදන්න නීතිය හා සාමය අමාත්‍යකම මාස තුනට ඉල්ලා සිටි ගොවියෙකුගේ පුතෙක් වූ සිරිසේන ජනාධිපතිවරයා පොළොන්නරුවේ ගොවි ජනතාවට විශේෂ හැන්දෙන් බෙදද්දි අනුරාධපුරයේ ගොවියන්ට කදුළු ගෑස් හැන්දෙන් බෙදීම කෙරෙහි අවධානය යොමු විය යුතුය. ඔය කියන තරමේ රට හැදීමේ උවමනාවක් තිබ්බා නම් තමන් යටතේ තියන වෙනත් අමාත්‍යාංශයක් වෙනුවට නීතිය හා සාමය බාර ගැනීමට කොන්ද පණ නැති වුණේ කොහොමදැයි ජනාධිපතිවරයාගෙන් ඇසිය යුතුමය.

වතුර ඉල්ලා පාරට බැහැපු ජනතාවගේ මානවහිමිකම් වෙනුවෙන් දිවා රෑ නොබලා කැපවුණු එන් ජී ඕ බලකායත් නැට්ට පශ්චාත් භාගයේ ගසා ගත් බල්ලන් ගානට වැටිය. ෆේස් බුක් එකේ වෙනදට මානව හිමිකම් වෙනුවෙන් තබන සටහන්ද රාජාංගනයේ ගොවියන් වෙනුවෙන් නැත. තමන් බලයට ගෙන ආණ්ඩුවේ තමන්ගේ ලොක්කාගේ යටතේ තියන පොලිසිය ගොවින්ට පහර දුන්නා කියා රෙද්දක් ඇදගෙන පාරට බහින්න බැරි නිසා අස්සට වී සිටිනවාද කියා එන්ජීඕ බලකායෙන් ද විමසිය යුතුමය. රතුපස්වල ජනතාව වෙනුවෙන් පෙනි සිට රාජපක්ෂ රෙජිමය පෙරලීමට උත්සහ කළ විදේශීය කණ්ඩායම් ගෙන් තම ගාස්තුව ලබා ගත් නීතිඥයින්ද රාජාංගනයේ ජනතාව වෙනුවෙන් අධිකරණය ඉදිරියට පැමිණියේ නැත. එහෙම බලද්දි පෙනි යන පොදු කරුණ වන්නේ මානවහිමිකම් රැකීමට, නීතියේ ආධිපත්‍ය රැකීමට වඩා ඔවුනට අවශ්‍ය වූයේ තම බඩගෝස්තරය ගැන හිතා ලංකාවේ ආණ්ඩුව පෙරලීමට පමණක් බවයි. පත් වෙච්ච ආණ්ඩුව විසිකළ පට්ටම් කටු, හා සිගිති ආතල් කටු ලෙවකා සිටින ඔවුනට තම හාම්පුතුන්ට එරෙහිව කටවල් ඇරිය හැකිද?

මොන ආණ්ඩුව පෙරලුනත් ජනතාවට කවදාවත් සහනයක් හිමි නොවේ, එදා ධම්මික පෙරෙරා රතුපස්වල වතුර තමන්ගේ මුදල් බලයට යට කර ගන්න්දි බලධාරීන් නිහඩව සිටි ලෙසටම අද රාජාංගන ජලාශයේ වතුර මුදලට විකිණීම පිළිබඳවත් බලධාරීන් නිහඩය. තැලෙන්නේ, පීඩාවට පත් වන්නේ, දුක් විදින්නේ අහිංසක ජනතාවමය. ප්‍රහාරයේ දේශපාලන වාසිය ලබා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ නිවේදනය නිකුත් කළ ද මේ රජය ගෙන ඒමට සහතික නුකුත් කළ ඔවුන්ද මෙම ප්‍රහාරයයට වගකිව යුතුය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහඑම කල්ලියත් මේ රජයේ දේශපාලන පක්ෂ දෙකේ මැති ඇමතිවරු රොත්තත් මේ සඳහා එක හා සමානව වගකිව යුතුය. එසේම කිසිම රාජකාරිමය හැදිනීමක් නොමැතිව එම උද්ඝෝෂකයින්ට ප්‍රහාර එල්ල කිරිමට සිවිල් ඇදුමින් සැරසුණු පිරිසට බලය ලබා දුන් පොලිසියද වැරදිය. මේ සියල්ලටම එරෙහිව තමා වෙනුවෙන් වෙන අයෙකු පෙනී සිටීමට පෙර තමා වෙනුවෙන් තමාම සිට ගැනීමට රටේ ජනතාව පෙරට බැසිය යුතු කාලයයි.වෙනස නම් කොහෙත්ම සැප නැත. ඉවසුවා ඇති!!!!!!!!

~~ලංකා නිවුස් ඇලර්ට්~~