ආණ්ඩුව හැරෙන්නේ පොල් පැලේ කන්නද…? සමාජ මාධ්‍ය වලට අත තබා ආණ්ඩුව අත පුච්ච ගනීද?

0

ෆේස්බුක් අවහිරතාව නැවත යථා තත්ත්වය පත් කරනවා ද නැද්ද යන්න පිළිබඳව මේ වන විට මත දෙකක් ඉදිරිපත් වී ඇති බවත් රට ගැන හිතා එම අවහිරතාව පිළිබඳව තීරණය කළ යුතු බවත් අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරනවා.

අද (11) පැවති මාධ්‍ය හමුවකදි ෆේස්බුක් තහනම පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“තහනම් කිරීම කියන්නේ අවහිර කිරීමක් තාවකාලිකව සිද්ධ කළේ.  නැවත ඒක යථා තත්ත්වයයට පත් කරනවා ද නැද්ද කියන එක ගැන මත දෙකක් ඉදිරිපත් වෙලා තියනවා. එක කට්ටියක් කියනවා මේ තියන ක්‍රමවේදය හොඳයි. අනිත් කට්ටිය කියනවා නැවත ක්‍රියාත්මක කරන්න ඕන යම් පාලනයක් යටතේ කියලා. අපිට රට ගැන හිතලා තීරණයක් ගන්න තියෙන්නේ. බලන්න කොච්චර අපහාස කරනවා ද කියලා. චරිත ඝාතන කරනවා දකියලා. බලන්න මේ රටේ ජනාධිපතිවරයාට නොදාපු මූණක් තියනවා ද කියලා. එක්කෙනෙක් දෙන්නෙක් මේ වැඩේ කරනවා. රට ගැන හිතලා ගන්න තීන්දු ගන්න වෙනවා.”අමාත්‍යවරයා පවසා සිටියා.

කතෘ සටහන:

අමාත්‍යවරයාගේ මේ ප්‍රකාශය ආණ්ඩුවේ බොර දියේ මාලු බෑමට උදාහරණ සපයයි. ජාතිවාදය පෙරමුණේ තබා ආණ්ඩුව කළේ ජනාධිපතිවරයාට නැත්නම් ආණ්ඩුවේ මැති ඇමතිවරයෙකුට සිදුවන අපහාස වසා ගැනිමද? එසේනම් එවන් අපහාස කරන්නන්ට එරෙහිව ක්‍රියාත්මක කළ හැකි නිතියක් තිබියදීත්, ව්‍යාජ නම් වලින් හෝ පුද්ගලයන් වශයෙන් ෆේස් බුක් පිටු පවත්වා ගන්නට නොහැකි පරිදි හා සමාජ මාධ්‍ය ජාල තුළ එය භාවිත කරන්නන්ගේ අනන්‍යතාව තහවුරු කරන නීති සම්පාදනය වී තිබියදි එවන් අපහාස හෝ චරිත ඝාතන කරන පුද්ගලයින් හදුනා ගැනීමට ආණ්ඩුවට හෝ විදුලි සන්දේශ නියාමන කොමිසමට හැකියාවක් නැද්ද? එසේ තිබියදි මුළු රටටම බලපාන ලෙස සමාජා මාධ්‍ය ජාලා අවහිර කිරීම හා එය යථා තත්ත්වයට පත් කිරීම පිළිබඳව ඉහත පරිදි ප්‍රකාශ රටේ අමාත්‍යවරයෙකු විසින් පැවසීම හරහා කඩවන මානවහිමිකම් පිළිබඳව වගකීම දරන්නේ කවුද? එසේම භාෂණයට, ලිවීමට කියවීමට තොරතුරු දැන ගැනීමට හා තොරතුරු හුවමාරු කර ගැනීමට ඇති අයිතිය වෙනුවෙන් ජනතාව පාරට බහින විට එම ගින්න නිවීමට  ආණ්ඩුවට පිළියම් සෙවීමට නොහැකි වනු ඇති.