ආණ්ඩුව ගැන සත පහක විශ්වාසයක් නෑ…ජාතිවාදි හමට තඩි බාලා…දඹුළු ගිහින් තලගොයි මරනවා….!

0

ජාතිවාදය සමග සෙල්ලම්  කළ ආණ්ඩුව දැන් සමාජ මාධ්‍ය ජාලා අවහිර කරමින් අතිරේක වාසි ගැනීමට උත්සහ කරන බවත් ආණ්ඩුවේ වැඩ කටයුතු පිළිබඳව සත පහක විශ්වාසයක් නැති බවත් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර පවසා සිටිනවා.

අද (14) පැවති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව පවසා සිටියා.

“පසුගිය කාලයේ මහනුවර ප‍්‍රදේශයේ ඇතිවූ සිදුවීම් නිසා ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර් තහනමට ලක්කළා. ජාතිවාදී ප‍්‍රවණතාවය කියන්නේ ලංකාවේත් ලෝකයේත් ඉතාම අඩු මුදලකින් මිලදී ගතහැකි හා වැඩිම විනාශයක් කළ හැකි ආයුධයක්. මහනුවර ඇතිවූ සිදුවීම් හුදකලා සිදුවීමක් නොවේ. පසුගිය ආණ්ඩුව කාලයේදීත් වර්තමාන ආණ්ඩුව කාලයේදීත් සිදුවූ කි‍්‍රයාකාරකම්වල ප‍්‍රතිඵලයක් ලෙස තමයි එම සිදුවීම ඇතිවුණේ. මේ ආණ්ඩුව ප‍්‍රධාන වශයෙන් කී‍්‍රඩාවන් දෙකක් කළා. පළමුවැන්න තමයි, මේ ආණ්ඩුව පරණ හොරු එකකත් අලූත් හොරු එක්කත් සෙල්ලම් කිරීම. දෙවැනි එක තමයි සිංහල, මුස්ලිම් ජාතිවාදය සමග සෙල්ලම් කිරීම. ඒ අනුව අද මුළු රටම ජාතිවාදී පෙට‍්‍රල්වලින් තෙත් වෙලා තිබෙනවා. මේ වනවිට මහනුවර සිදුවීම යම් තරමකට සමනය වීමක් සිදුවෙලා තිබෙනවා. නමුත් අපි විශ්වාස කළ යුතු නැහැ, එයින් මෙම ජාතිවාදී ප‍්‍රවණතාවයන් නතර වෙයි කියලා. මොකද ආණ්ඩුව කරන සෙල්ලමත් එක්ක ජාතිවාදී ප‍්‍රවණතාවයන් මතුවීම නතර වෙයි කියලා කියන්න බැහැ.”

“සමාජවාදී තරුණ සංගමයත් අප නියෝජනය කරන දේශපාලන පක්‍ෂයත් රටේ ජාතික සමගිය ඇතිකිරීම වෙනුවෙන් අඛණ්ඩව පෙනී ඉන්නවා. අපි දිගින් දිගටම මේ ආණ්ඩුවලට බලපෑම් කළා ජාතිවාදී ප‍්‍රවණතාවයන් ඇතිවීම වැළැක්වීමට කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස. නමුත් ආණ්ඩුව මේ කිසිවක් අවධානයට ගත්තේ නැහැ. පහුගිය කාලයේ කාන්තා යට ඇඳුම්වල වඳකිරීමට අදාළ විවිධ ද්‍රව්‍ය තිබෙනවා කියලා සමාජ මාධ්‍ය ජාලා තුළ විශාල ප‍්‍රචාරයක් දියත් කළා. සිංහල ජනතාව වඳ කරන්න කුමන්ත‍්‍රණයක් තියෙනවා කියලා කතා පැතිරුණා. එවැනි දේවල් පිළිබඳව ආණ්ඩුව කිසිිදු කි‍්‍රයාමාර්ගයක් ගත්තේ නැහැ. එවැනි ව්‍යාජ ප‍්‍රකාශ ප‍්‍රචාරය කිරීම වැළැක්වීමට. අම්පාර සිදුවීම සමාජ මාධ්‍ය ජාලා තුළ දැඩි විවේචනයට ලක්වුණා. අම්පාර සිදුවීමට එරෙහිව සමාජ ජාලා තුළ ඇතිකළ විරුද්ධ මතය නිසා එය පරාජය කරන්න හැකි වුණා. නමුත් ආණ්ඩුව ඒ වෙනුවෙන් කිසිවක් කළේ නැහැ. වඳ පෙති කියලා දෙයක් නැහැ කියලා වෛද්‍යවරුන්ගේ ප‍්‍රකාශ උපුටලා දැක්වුවේ, ප‍්‍රචාරය කළේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්. නමුත් ආණ්ඩුව නිල ප‍්‍රකාශයක් ඒ වෙනුවෙන් කරන්න අසමත් වුණා. පසුගිය 04වැනිදා තමයි හීනෙන් බයවෙලා වගේ ප‍්‍රකාශයක් කරලා තිබුණේ.”

“මේ ඇතිවී තිබෙන ජාතිවාදී ප‍්‍රවණතාවයන්වලට සෘජුවම ආණ්ඩුව වගකිව යුතුයි. ජාතිවාදී ප‍්‍රවණතාවය ඇතිවීම වැළැක්වීමට ගන්නා විසඳුම ෆේස්බුක් තහනම් කිරීම නොවෙයි. රටක අගමැතිවරයෙක්, ජනාධිපතිවරයෙක්, ඇමති මණ්ඩලයක් සිටින්නේ යම් යම් දේවල් තහනම් කිරීමට නොවේ. ඇතිවන අහිතකර දේවල් පාලනය කිරීම සඳහා කි‍්‍රයාමාර්ග ගැනීමයි ආණ්ඩුවක් විසින් කළ යුත්තේ.”

“සමාජ මාධ්‍ය තුළ ජාතිවාදය වපුරන පිරිසක් ඉන්නවා. නමුත් සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරන වැඩි පිරිසක් ජාතික සමගිය වෙනුවෙන් කටයුතු කරනවා. ඉතාම බාධා මැද ඔවුන් ජාතික සමගිය වෙනුවෙන් තමන්ගේ මත පළ කරනවා. ඒ නිසා ජාතිවාදී සුළු පිරිසක් නිසා සමස්තය ඊට වගකිව යුතු නැහැ. සුළු පිරිසකගේ කි‍්‍රයාකාරිත්වය නිසා සමාජ මාධ්‍ය අවහිර කළ යුතු නැහැ. ආණ්ඩුව ප‍්‍රකාශ කළේ පැය 72ක් සඳහා තහනම් කරනවා කියලා. නමුත් අද වන විට දින 07ක් ගතවෙලා තිබෙනවා. දැන් අවහිරය ඉවත්කර තිබෙන්නේ වයිබර් සඳහා පමණයි. ආණ්ඩුව අද උත්සාහ කරමින් තිබෙනවා, සමාජ මාධ්‍ය මහා භයානක යකෙක් බවට පත්කරන්න.”

“ලෝකයේ තාක්‍ෂණය දියුණු වෙමින් තිබෙනවා. අපේ රටේ අගමැතිවරයා කතා කරමින් සිටින්නේ ඩිජිටල් යුගයක් ගැනයි. නමුත් අද ආණ්ඩුව තාක්‍ෂණය වාරණය කරමින් තිබෙනවා. අද ලෝකයේ න්‍යෂ්ටික තාක්‍ෂණය විදුලි උත්පාදනය කිරීමට යොදා ගන්නවා. නමුත් න්‍යෂ්ටික මූලද්‍රව්‍යවලින් මහා විනාශයක් කරන්නත් පුළුවන්. ඇතැම් බෙහෙත් වර්ග තිබෙනවා රෝගීන් සුවපත් කරන්න පුළුවන්. එම බෙහෙත්ම ඇතැම් තරුණයින් මත්වීම සඳහාත්, ඇතැම් අය දිවි නසා ගැනීම සඳහාත් භාවිතා කරනවා. ඒ වගේම තමයි කෘමිනාශක. වගාවන් සඳහා යොදා ගන්නත් පුළුවන්. සියදිවි හානිකර ගැනීමටත් යොදා ගන්නත් පුළුවන්. එනිසා මේ සියලූ දේම හොඳ නරක තිබෙනවා. නරක තිබෙනවා කියා සියලූ දේවල් තහනම් කිරීම උත්තරයක් නොවෙයි. අයහපත් ප‍්‍රතිඵල ගෙනෙන කි‍්‍රයා පාලනය කිරීමට ආණ්ඩුව කි‍්‍රයාමර්ග ගත යුතුයි. නමුත් මේ ආණ්ඩුව තමන්ගේ ඔටුන්න ගැන හිතමින් සෙල්ලම් කරනවා මිස ගතයුතු කි‍්‍රයාමාර්ග ගැන අවධානයක් යොමු කරන්නේ නැහැ.”

“අද අපේ රටේ ලක්‍ෂ 56කට අධික ප‍්‍රමාණයක් ෆේස්බුක් භාවිතා කරනවා. එය හුදෙක් විනෝදය සඳහා පමණක්ම භාවිතා කරන්නක් නොවෙයි. අල්පෙනෙත්තේ සිට සියලූම භාණ්ඩ විකිණීම සඳහා ෆේස්බුක් භාවිතා කරනවා. සුළු පරිමාණ ව්‍යාපාරිකයින් මෙන්ම මහා පරිමාණ ව්‍යාපාරිකයින්ද තමන්ගේ ව්‍යාපාරික කටයුතු යොදා ගන්නවා. ඒ වගේම අද ලාභම සන්නිවේදන මාධ්‍ය බවට පත්වෙලා තිබෙන්නේ ෆේස්බුක් සමාජ මාධ්‍යයයි. ඒ හරහා විදෙස්ගත තමන්ගේ නෑදෑ හිතමිතුරන් සමග ඉතා අඩු මුදලකින් සන්නිවේදන කටයුතු කරගන්නවා. එමෙන්ම අධ්‍යාපන කටයුතු සඳහා නව තාක්‍ෂණික දැනුම සඳහා ෆේස්බුක් යොදා ගන්නවා. මෙතරම් වැදගත් කටයුතු ගණනාවක් ඉටුකරගැනීමට තිබියදී එක සිදුවීමක් පදනම් කරගනිමින් සියලූ දේ නතර කොට තිබෙනවා. ජාතිවාදී කරුණ පදනම්කරගෙන සමාජ මාධ්‍ය ජාලා අවහිර කළ ආණ්ඩුව දැන් එයින් වෙනත් වාසි ගන්න හදනවා. දඹුලූ ගිහින් තලගොයි මරන්න හදනවා. මහනුවර සිදුවීම මළ ගෙදරක් කරගෙන බූරුවා ගහන්න ආණ්ඩුව උත්සාහ කරමින් සිටිනවා.”

“ආණ්ඩුවේ මැති ඇමතිවරු ෆේස්බුක් තහනම අද නතර කරනවා, හෙට නතර කරනවා කියමින් විවිධ ප‍්‍රකාශ කරනවා. නමුත් මේ ආණ්ඩුවේ කි‍්‍රයාමාර්ග පිළිබඳව අපිට සත පහක විශ්වාසයක් නැහැ. මේ ආණ්ඩුව පහුගිය කාලයේ කරපු වැඩවලින් හොඳටම නාගෙනයි ඉන්නේ. අපි ආණ්ඩුවට කියනවා තව තවත් නාන්න සූදානම් වෙන්න එපා කියලා. මේ දුර්වල ආණ්ඩුවට ලක්‍ෂ 56ක් එක්ක හැප්පෙන්න පුළුවන්කමක් නැහැ. පහුගිය ආණ්ඩුවේ වංචා-දූෂණ හෙළිදරව් කරමින් දූෂණයට එරෙහි මතයක් ගොඩනගමින් වර්තමාන ආණ්ඩුව බලයට පත් කරන්න සමාජ මාධ්‍ය ජාලා විසින් වැඩි කර්යභාරයක් සිදුකළා. එහෙම බලයට ආපු ආණ්ඩුවට ඔවුන්ගේ වැරදි පෙන්වා දෙනකොට, බැඳුම්කර හොරු ගැන කතා කරනකොට, මුදල් ඇමතිට විවේචන එල්ල කරනකොට සමාජ මාධ්‍ය එපා වෙලා තිබෙනවා. ආණ්ඩුව කළ යුත්තේ ෆේස් බුක් තහනම් කිරීම නොව ජනතාවගෙන් එල්ල වන විවේචනවලට පිළිතුරු දීමයි. එසේ නොකොට මර්දනය කළයුතු නැහැ.”

“මීට වඩා ශක්තිමත්ව තිබුණු පහුගිය ආණ්ඩුව කාලයේදී පවා සමාජ මාධ්‍ය තුළ තරුණ තරුණියන් කිසිදු බියකින් තොරව තමන්ගේ අදහස් පළ කළා. ඒ නිසා මේ ආණ්ඩුවට අපි අවධාරණය කරනවා, සමාජ මාධ්‍ය අවහිර කරමින් ඔබ අප සමඟ සෙල්ලම් කරන්න හදනවා නම් ආණ්ඩුව සමග හොඳින් සෙල්ලම් කොට ජයගන්න අපි සූදානම් කියලා. ඒ නිසා වෙන වෙන ඞීල් දාන්නේ නැතුව වාරණය කරන්නේ නැතුව වහාම සමාජ මාධ්‍ය ජාලා අවහිරය නතර කරන ලෙස අපි ආණ්ඩුවට බලපෑම් කරනවා. මොකද අද පාට, පක්‍ෂ භේදයකින් තොරව විශාල පිරිසක් මේ ආණ්ඩුවට විරෝධය පළ කරමින් තිබෙනවා. මේ ආණ්ඩුවේ කි‍්‍රයාමාර්ග දිහා අපි අවධානයෙන් බලාගෙන ඉන්නවා. ඉදිරියේදී මේ කි‍්‍රයාමාර්ගයට එරෙහි සියලූ දෙනා සමග එක්ව ආණ්ඩුවට එරෙහිව කි‍්‍රයාමාර්ග ගන්න අපි කටයුතු කරනවා. ඉදිරි දින කිහිපය තුළ සමාජ මාධ්‍ය ජාලා සකිී‍්‍රය නොකළහොත් මේ ආණ්ඩුවට එරෙහිව දැඩි කි‍්‍රයාමාර්ග ගන්න අපි සූදානමින් ඉන්නවා.”