නුවරඑළියෙන් ගත් ජල සාම්පල්වල 100% අසුචී මිශ්‍ර වෙලා

0

නුවරඑළිය නගර සීමාව තුළ පසුගිය වසරේ සිදු කරන ලද ජල සාම්පල් පරීක්ෂාවෙන්  සියයට සියයක්ම (100%) එම ජල සාම්පල්වල අසුචී මිශ්‍ර බවට වාර්තා වී ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය සේනක තලගල  පැවසීය.

නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගායේදී පසුගියදා පැවැති නුවරඑළිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදි ඔහු මේ බව පෙන්වා දුන්නා.

නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. තිලකරාජ්, මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන්වන ආර්. එම්. එස්. බී. රත්නායක හා ජී. එම්. එම්. පියසිරි යන අයගේ සම සභාපතීත්වයෙන් යුතුව හා නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් සුජීවා බෝධිමාන්න  ඇතුළු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක්ගේ සහභාගිත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

එහෙදි තව දුරටත් අදහස් දැක්වු වෛද්‍ය සේනක තලගල මෙසේද පැවැසීය.

“නුවරඑළිය ප්‍රදේශයට දේශීය විදේශීය සංචාරකයන් ලක්ෂ ගණනින් එනවා. නමුත් මේ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ගයක් ගත්ත බවක් පෙනෙන්නට නෑ. සම්බන්ධීකරණ කමිටු හෝ මේ සම්බන්ධයෙන් ක්‍රියා මාර්ගයක් ගත යුතු බවට අප අවධාරණය කරනවා. අඩුම වශයෙන් ජනාධිපතිතුමාගේ අවධානය හෝ දිනා ගනිමින් මේ සඳහා සුදුසු වැඩ පිළිවෙලක් සකස් කළ යුතුයි.”

“නුවරඑළිය මහා නගර සභාවට ලැබෙන මුදල ගැන පමණක්සිතා කටයුතු කිරීම ඇරෙන්න මෙම ජල පද්ධතිය වැඩිදියුණු කිරීමට හිතන්නේ නැහැ. ජනතාවට පිරිසිදු පානීය ජල සැපයුමක් ලබාදීම වගේම සෞඛ්‍ය සම්පන්න තත්ත්වයක් ඇති කිරීම නුවරඑළිය මහ නගරසභාවෙත් එහි සෞඛ්‍ය අංශයේත් වගකීමක් වෙනවා.”

“මෙම වගකීම පළාත් පාලන ආයතන විසින් නිසි පරිදි ඉටු කරන්නේ නැත්නම් ඒ සඳහා මැදිහත් වීමට අපිට බලයක් තිබෙනවා. මෙම කමිටුව ඉල්ලීමක් කරනවනම් ඕනෑම වෙලාවක අපි ඊට ඉදිරිපත් වෙන්න සුදානම් යයිද”

ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

  • ඡායාරූපය- නුවරඑළිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල