මෙච්චර කල් හමස් පෙට්ටියේ දාපු සටන් පාඨ ජවිපෙ දූවිලි පිහිදාලා එළියට ගන්නේ 2020ත් අන්දන්න….!

0

ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමේ සටන් පාඨය පෙරටු කරගමින් දැන් සැරසෙන්නේ 2020 ජනාධිපතිවරණයට නව ප්‍රජාතන්ත්‍රවාදී පොරොන්දු සොයා දීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ චෝදනා කරනවා.

ඊයේ (19) කොළඹ මහජන පුස්තකාලයේ පැවති සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

“මේ ඉතිරි මාස 18ක කාලය තුළ බටහිර රටවල්, ඉන්දියාව බලාපොරොත්තු වුණේ ඉතිරි වැඩ ටික කරලා, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කියන මීට පෙර මැතිවරණ ගණනාවක භාවිතා කළ සටන් පාඨය ඉස්සරහට දාගෙන ඊලඟ ජනාධිපතිවරණයේදි අලුත් හංස පූට්ටුවක් අටවගන්න. ඒක තමයි දැන් මේ ගොල්ලන්ගේ සැළැස්ම වෙලා තියෙන්නේ. ඒ අලුත් හංස පූට්ටුවට අලුත් අපේක්ෂකයෙක් ගේනවා. අලුත් හංස පූට්ටුවට ගේන අපේක්ෂකයා ඒ ව්‍යවස්ථා පෙරලිය, ඒ අලුත් ව්‍යවස්ථාව මුල පිටුවේ ඉඳලා අන්තිම පිටුව වෙනකම් පෙරලලා ඒ පෙන්නන කෙටුම්පතට ජනවරම දෙන්න කියලා ඉල්ලනවා.”

“ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවාලීමේ නාමයෙන් ජනතා විමුක්ති පෙරමුණ නැවත වතාවක් ඒ ඊනියා හංස පූට්ටුව වෙනුවෙන් කර ගහනවා. ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියන සටන් පාඨය මේ මාස ගණනාවක් තිස්සේ පෙට්ටගමට දාලා හංගලා තිබිච්ච සටන් පාඨය මේ මැතිවරණ පරාජයෙන් පස්සේ නැවත දූවිලි පිසදාලා එළියට ගන්නේ ඊලඟ ජනාධිපතිවරණයට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී සටන් පාඨයට සළුපිළි අන්දවා ගැනීම සඳහා. මේක තමයි සළුව.” මන්ත්‍රීවරයා පවසා සිටියා.

Wimal Weerawansa