උදයාංග විරතුංග ගේන්න කණ්ඩායමක් ඩුබායි වලට….

0

බුබායි හීදි අත්තඩංගුවට පත් හිටපු රුසියන් තනාපති උදයාංග විරතුංග ලංකාවට රැගෙන ඒමට අවශ්‍ය රාජත්‍රාන්ත්‍රික කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් ඔහුව සියරට ගෙන ඒම සඳහා කණ්ඩායමක් පිටත් වීමට නියමිත බවත් වාර්තා වෙනවා.

අද (28) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදි උදයාංගව අත්තඩංගුවට ගත් බව සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න විසින් තහවුර් කර අතර ඩුබායි හි පිටිසර ප්‍රදේශයක නිවසක රැඳී සිටිය දී ඔහු මෙසේ අත්අඩංගුවට පත් ව තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමට සහ මුදල් විශුද්ධිකරණයට අදාළව ඇමෙරිකා ඩොලර් මිලියන හතක් පමණ වන මහජන මුදල් අවභාවිත කළ බවට හිටපු රුසියන් තනාපතිවරයාට එරෙහිව චෝදනා ගොනු වී තිබෙනවා.

උදයංග වීරතුංග ගුවන් හමුදාවට මිග් විසිහත ප්‍රහාරක යානා මිලදී ගැනීමේ ගණුදෙනුවට සෘජුවම සම්බන්ධ වී මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවට චෝදනා එල්ල කළේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයයි. දෙදහස් හය වසරේදී මිග් ප්‍රහාරක යානා හතක් මිලදී ගැනීමේදී මෙම වංචාව සිදුකර ඇති බවටයි චෝදනා එල්ල වුණේ. මීට අමතරව යුක්‍රේන කැරළිකරුවන්ට අවි සැපයූ බවට ද ඔහුට චෝදනා එල්ල වුණා. ඔහු මිග් ගනුදෙණුව තුළින් වංචා කළ මුදල් ශ්‍රී ලංකන් ලිමිටඩ් ලයබිලිටි නම් සමාගමක ආයෝජනය කළේ දැයි පරීක්ෂා කරන බව ද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නා. ඔහුට අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කෙරුණ ද එම නොතීසි භාරදීම සඳහා ගිය අවස්ථාවේ සැකකරු තලපත්පිටිය ලිපිනයේ නොසිටි බැවින් ඔහුගේ සහෝදරියට නොතීසි භාරදීමට සිදුවුණා. සැකකරු පදිංචිව සිටියේ යැයි සැළකෙන යුක්‍රේනයේ ලිපිනයට ද ඊමේල් මගින් නොතීසි පිළිබද දැනුම් දීමට කටයුතු කෙරුණා. එහෙත් දිගින් දිගට අධිකරණය මගහැර සිටි බැවින් සැකකරු සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසිය හරහා වරෙන්තු ද නිකුත් කෙරුණා.

කෙසේ වෙතත් ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග විදේශ සංචාර ඡායාරූපවලට පවා පෙනී සිටින බවට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළේ ද මේ අතරතුරයි. එහිදී නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා කියා සිටියේ ඔහු කොතන සිටිය ද අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවයි. තමාට එරෙහි වරෙන්තු ආපසු කැඳවන ලෙස වීරතුංග මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොණුකර තිබුණා. ඒ රුපියල් මිලියන සියයක වන්දියක් ද ඉල්ලමින්. මේ අතර උදයංග වීරතුංගගේ බැංකු ගිණුම් කිහිපයක් තහනම් කිරීමට ද පියවර ගැණුනා. ඔහු භාවිත කරන ශ්‍රී ලංකා රජය නිකුත් කළ විදේශ ගමන් බලපත්‍රය සහ තවත් සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කිරීම වළක්වාලමින් ද නියෝග නිකුත් කෙරුණා. උදයංග වීරතුංග  යුක්‍රේනයේ පදිංචිව සිටින බවට ඔහුගේ නීතීඥවරයා අධිකරණයට දැනුම් දුන්න ද පොලිසිය කියා සිටියේ ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචිව සිටින බවයි. පැනමාවෙන් සහ ලැට්වියාවෙන් ඇමෙරිකා ඩොලර් මිලියන එකයි දශම පහක් එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන දෙසිය විසි දෙකකට වැඩි මුදලක් ඔහුගේ බැංකු ගිණුම් හයකට වරින්වර බැර කර ඇති බව ද මූල්‍ය අපරාධ කොට්ඨාසය ප්‍රකාශ කළා. ඔහුට මෙම මුදල් ලැබුණේ කෙසේද යන්න අපහැදිලි බව ද එම කොට්ඨාසය කියා සිටියා. ඒ අනුව ඔහුට අයත් බැංකු ගිණුම් කිහිපයක් ද තහනම් කෙරුණා. එම තහනම ඉවත් කරන ලෙස වීරතුංග  සිය නැන්දණිය හරහා පෙත්සමක් ද ගොනු කිරීමට කටයුතු කළා. උදයංග වීරතුංගගේ බැංකු ගිණුම් 8ක් පරික්‍ෂා කිරීමෙන් අනතුරුව හෙළි වූ කරුණු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව දොම්පේ ප්‍රදේශයේ අක්කර 7 ක්, කොළඹින් අක්කරයක් හා නිවාස සංකීර්ණයක නිවසක් සැකකරු නමින් මිලදී ගෙන ඇති බවට හෙළිවී ඇති බවයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කියා සිටියේ.

හිටපු තනාපතිවරයාගේ උපදෙස් මත මිතුරෙකුගෙන් ණයට ගත් රුපියල් මිලියන 20ක් සැකකරුගේ නැන්දණිය නමින් තැන්පත් කර ඇති බවට හෙළි වූ බව ද මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය අධිකරණය හමුවේ කියාසිටියා. එම ගිණුම් පරික්‍ෂා කිරීමට ද ඒ අනුව අධිකරණය අවසර ලබා දුන්නා. උදයංග වීරතුංග නේවාසික වීසා මත අබුඩාබි රාජ්‍යයේ සිටින බවට ජාත්‍යන්තර පොලීසිය හරහා තොරතුරු ලැබී ඇති බවද මේ අතර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කියා සිටියා. ජාත්‍යන්තර පොලිස් වරෙන්තු හරහා ඔහු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව ද එම නිලධාරීන් පැවසුවා. උදයංග වීරතුංගට අයත් ඉඩම් දෙකක් විකිණීම හා පැවරීම තහනම් කරමින් අධිකරණය නියෝගයක් නිකුත් කළේ ද මේ අතරතුරයි. උදයංග වීරතුංගට අයත් බව කියන ඇල්විටිගල මාවතේ පිහිටි ට්‍රිලියම් රෙසිඩන්සිස් ගොඩනැගිල්ල ද උගස් කිරීම, පැවරීම හා විකිණීම ද තහනම් කරමින් නියෝගයක් නිකුත් කෙරුණා. හිටපු තනාපතිවරයා ඩුබායි ගුවන් තොටුපොලේ දී අත්අඩංගුවට පත්වූ බව වාර්තා වුණේ පසුගිය මාසයේ මුල් සතියේ දීයි. කෙසේ වෙතත් එම අවස්ථාවේ ඔහු මෙරටට රැගෙන ඒමට හැකිවූයේ නැහැ. ඔහුට එරෙහි විවෘත වරෙන්තුව ජාත්‍යන්තර පොලිසියට ඉදිරිපත් කිරීම සඳහා එහි ඉංග්‍රීසි පිටපතක් නිකුත් කරන ලෙසද නියෝග කෙරුණේ මේ අතරයි.