අගමැතිට විරුද්ධ වුනොත් කතා දෙකක් නෑ එලෙව්වා….ආණ්ඩුවේ පිං ඇමතිලා ඔක්කෝටම ඉස්සල්ලා පොහොට්ටුවට යන්න දඟලනවා

0

අගමැතිවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය දීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාර මණ්ඩලය තීරණය කළ බවත් ඒ තීරණයට විරුද්ධ වන මන්ත්‍රිවරුන්ට විනය පරික්ෂණ සිදු කරන බවත් රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසනවා.

අද (01) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ ආණ්ඩුව පත් වූවාට පසුව එයට පැමිණ එහි ඇමතිකම් හා වරප්‍රසාද සියල්ල භුක්ති විදිමින් සිට සමහර ඇමතිවරුන් දැන් පොහොට්ටුවට යාමට කටයුතු කරමින් සිටින බවයි.

“සමහරු හිතනවා පොහොට්ටුව සමඟ එකතු වීමට මේක තමයි හොඳම කාලය කියලා. එහම හිතලා ඔවුන් මේ ආණ්ඩුව අප්‍රසාදයට ලක්වන වැඩ කරන්න පටන් අරන්. පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේ එස් බි. දිසානායක ඇමැතිවරයා මාස දෙකක්ම අපේ රටේ 14 ලක්ෂයක් පමණ සමෘද්ධිලාභීන්ට දීමනාව දුන්නේ නැහැ. ඒ වගේම වැඩිහිටි දීමනාව රුපියල් දෙදාහ දුන්නෙත් නැහැ. මෙහෙම කරන්න පුලූවන්ද යහපාලනය දිගට පවත්වාගෙන යන්න කැමති කෙනෙකුට සම්මුතිවාදි ආණ්ඩුවේ සාර්ථකත්වය ප‍්‍රාර්ථනා කරන කෙනෙකුට,” අමාත්‍යවරයා මෙහිදි විමසා සිටියා.

එසේම ඊයේ (31) දි එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළ බවත් එම සාකච්ඡා සාර්ථක බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා.