‘උන්ගේ බල සූදුව, නරඹමුද? පරදමුද ?

0

මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරණයට දාලා මහින්ද පරාජය කරලා ඊළග වතාවෙ විධායක ජනාධිපතිධුරයට තරග කරන්න රනිල් වික‍්‍රමසිංහ සැලසුම් කරගෙන හිටිය බව පෙ.ස.ප. සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම් පවසනවා.

‘උන්ගේ බල සූදුව, නරඹමුද? පරදමුද ? යන තේමාවෙන් බදුල්ල නගර සභා පුස්තකාල ශාලාවේ පැවති සම්මන්ත‍්‍රණයේදී කුමාර් ගුණරත්නම් මෙම අදහස් පලකර සිටියා.

ගමේ ගොඬේ සිදුවන සූදුවේ ඉදලා ඉහළ පැළැන්තියේ තරු පහේ කැසිනෝ දක්වා සූදු තියෙනවා. අපි මේ කතා කරන්නෙ බල සූදුවක් ගැන. ගමේ සූදු පොළේදි කොච්චර පිරිසක් සූදුවට ආවත් කොච්චර මුදල් දිනුවත් අවසානෙ ඇත්තටම දිනන්නෙ සූදුපොළේ තෝන් ගන්න අය, එහෙමත් නැත්නම් සූදුව සංවිධානය කරන අය. අපේ රටේ දේශපාලනයෙ බල සූදුව ගත්තම මේක කෙනාහොමද වෙන්නෙ. දේශපාලන බල සූදුවෙ මර්මස්ථානය තමයි පාර්ලිමේන්තුව කියන්නෙ මේ දවස්වල පාර්ලිමේන්තුවේ මොකද වෙන්නෙ? අපි මේ කතා කරන අවස්ථාව වන විට අපේ රටේ දේශපාලනය සන්ධිස්තානයකට ඇවිල්ලා.

2015 රාජපක්ෂ කැඳවපු ජනාධිපතිවරණයෙදි මෛත‍්‍රීපාල සිරිසේන ජයග‍්‍රහණය කරලා බල මාරුව කරගත්තා. දැන් ආපහු බලය සඳහා තරගය බල සූදුව ක‍්‍රියාත්මක වෙනවා. දේශපාලන වෙනසක් වෙයිද? ගෝඨාභය එයිද? වගේ ප‍්‍රශ්නවල සමාජය පැටලිලා. ඒත් ජනතාවගේ පැත්තෙන් ආර්ථික ගැටලූ එන්න එන්න වර්ධනය වෙමින් පීඩාව උග‍්‍ර වෙමින් තියෙන්නෙ. කවුරු බලයට එනවද කියලා බල බලා ඉන්න කොට අපි වඩාත් පීඩාවට පත් වෙමින් ඉන්නෙ. මොන තත්වය යටතේ වුවත් දැන් පළාත්පාලන මැතිවරණයෙන් අපේක්ෂා නොකළ තත්වයක් ඇවිත් තියෙන්නෙ. දේශපාලන බලසූදුවෙ ක‍්‍රීඩා කරන හැමදෙනාගෙම ඉලක්ක අභියෝගයට ලක් වෙලා තියෙන්නෙ.

දැන් මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා කියනවා එයාට තිබුණලූ හීනයක් මේ රටේ ජාතික සමගිය ඇති කරන්න. දැන් ඔබ දන්නවා එයා 2015 කිව්වෙ දෙවැනි වතාවට නම් ජනාධිපතිවරණයට එන්නෙ නෑ, විධායක බලය අහෝසි කරන එක තමයි මගේ එකම හීනය කියලා. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරලා සම්පූර්ණයෙන් පාර්ලිමේන්තුවට බලය එන ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ගෙන එනවා කියලා තමයි එයා 2015 ජනතාවගෙන් ඡන්දය ඉල්ලලා බලයට ආවේ. නමුත් මේක පස්සෙ පස්සෙ මේ කතාව වෙනස් වුණා. මුලින්ම දෙවැනි පාර ජනාධිපතිවරණයට එන්නෙ මෛත‍්‍රිපාල සිරිසේන කියලා කිව්වෙ ඩිලාන් පෙරේරා වගේ අය. ඉන්පස්සෙ මෛත‍්‍රිපාල සිරිසෙනත් කියන්න පටන් ගත්තා මට තියෙනවා හීනයක්. රටේ ජාතික සමගිය ගොඩනගන්න හීනයක් තියෙනවා. ඒ නිසා මම ජාතික සමගිය ගොඩනගලා තමයි පස්ස බලන්නෙ කියලා. ඒ කියන්නෙ දෙවැනි පාරටත් ජනාධිපති තරගයට එනවා කියන එකයි.

පළාත්පාලන මැතිවරණයෙදි යම් බලයක් පෙන්වාගෙන රාජපක්ෂලට ලොකු බලයක් පෙන්වන්න ලැබෙන්නෙ නෑ කියලා ජනාධිපතිවරණයෙදි බලය එකතු කරන්න අදහසක් මෛත‍්‍රිපාල ජනාධිපතිවරයට තිබුණෙ. කලින් වතාවෙ වගේ එක්සත් ජාතික පක්ෂය එක්ක අවබෝධයක් ඇතිව, දෙමළ ජාතික සන්ධානයෙ, තොණ්ඩමන්ලා, දිගම්බරම්ලා, රාවුෆ් හකිම්ලා එකතු කරගෙන ජනාධිපතිවරණය ජයගන්න තමයි සැලැස්මක් හදාගන්න එයාට ඕන වුණේ. නමුත් පළාත්පාලන මැතිවරණයෙදි සැලැස්ම වැඩ කළේ නෑ. මහින්දට හිතුවට වැඩි බලයක් ලැබුණා. 45%ක විතර ප‍්‍රතිශතයක් පොහොට්ටුවට ආවා. රනිල් වික‍්‍රමසිංහට නම් සැලැස්ම මුලින්ම වැරදුණා. ආර්ථිකය ගැන එයා කිව්ව කතා සම්පූර්ණයෙන්ම අසාර්ථක වුණා. ෆොක්ස්වැගන් කර්මාන්තශාලා කිව්වා, රැකියා දස ලක්ෂය ගැන කිව්වා. ඒ සේරම කතා විතරක් වුණා. රවටන්න දෙයක්වත් කරගන්න බැරව ගියා. ජනතාව ආණ්ඩුව එක්ක තියාගන්න කිසිම දෙයක් කරගන්න බැරි වුණා. ඒ නිසා රනිල්ගෙ එකම උපක‍්‍රමය වුනේ මහින්දයි මෛත‍්‍රීයි වෙන්කරලා තියාගෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙ බලය දෙපිලකට වෙන්කරලා විරුද්ධවාදී බල කේන්ද්‍ර දුර්වල කිරීමයි. 2015 ජනාධිපතිවරණයෙන් පැරදුන මහින්දට ඊළඟට මහමැතිවරණයේදි තවත් ඡන්ද අඩු වුණ නිසා ඒක හරි යයි කියලා හිතුවෙ. එහෙම වුණාම කොහොමටත් තමන්ට දිනුම තියෙනවා කියලා රනිල් ඇතුළු එක්සත් ජාතික පක්ෂය හිතුවෙ. මෛත‍්‍රීයි මහින්දයි අතරෙ ඡන්ද බෙදුණම කොහොමටත් එක්සත් ජාතික පක්ෂයට ජය ලැබෙන බවයි ඔවුන් කල්පනා කළේ. පළාත්පාලන මැතිවරණයෙදි මහින්දට 30%ක් විතර ලැබෙයි, එක්සත් ජාතික පක්ෂය 35%ක් විතර ඡන්ද ලැබෙයි කියලා බලාපොරොත්තු වුණා කියලා අපට ආරංචි වුණා. ඒ නිසා රනිල්ගෙ සැලැස්මට තිබුණ ඉලක්ක වැරදුණා. මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරණයට දාලා මහින්ද පරාජය කරලා ඊළග වතාවෙ විධායක ජනාධිපතිධුරයට තරග කරන්න රනිල් වික‍්‍රමසිංහ සැලසුම් කරගෙන හිටියා. එහෙමත් නැත්නම් විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවට ප‍්‍රතිසංස්කරණ ගෙනල්ලා විධායක අගමැතිකම ගන්න එයා හිතුවෙ. ඉන්පස්සෙ පාර්ලිමේන්තු බලය අත්පත් කරගන්න පුළුවන් කියලා හිතුවා. මේ නිසා ඒ සැලසුම් සියල්ල පළාත්පාලන මැතිවරණයෙදි අර්බුදයට ගියා.

ජනතා විමුක්ති පෙරමුණටත් බලය පිළිබද සැලසුම් තිබුණා. 2020 ආණ්ඩු බලය ගන්න අපි සූදානම්, ඒ නිසා පළාත්පාලන මැතිවරණයෙදි අපට වැඩි බලයක් දෙන්න කියලා ඔවුන් රැස්වීම්වලදි මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයෙදි කිව්වා. සමහර ප‍්‍රාදේශීය සභා, තිස්සමහරාමය, සූරියවැව, අම්බලන්තොට වගේ සභා ජයග‍්‍රහණය කරන්න සැලැස්මක් තිබුණා. විශාල ඡන්ද ප‍්‍රමාණයක් ලබාගෙන ආසන්න වශයෙන් මන්ත‍්‍රිධුර දාහක්වත් ගන්න ඉලක්කයක් තිබෙන බව ඒ අය අභ්‍යන්තර සාකච්ඡුාවලදි තමන්ගෙ සාමාජිකයන්ට කිව්වා. ප‍්‍රසිද්ධියෙත් සමහර දේවල් කිව්වා. ජනතා විමුක්ති පෙරමුණේ බොහොමයක් දෙනා විශ්වාස කළා 2020 මහමැතිවරණයෙදි බලයක් ලබාගන්න මේ පළාත්පාලන මැතිවරණයෙදි විශාල ජයග‍්‍රහණයක් පෙන්වන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ ඉලක්කත් වැරදුණා. බලාපොරොත්තු වූ ජයග‍්‍රහණ ලැබුණේ නෑ.

දැන් මහින්ද රාජපක්ෂ වැඩි බලයක් ලබාගත්තම සමහරු කියන්න ගත්තා, මහින්දගෙ කාලෙ නම් මොනවා හරි දෙයක් වුණා. ඒකයි මේ ආපහු මිනිස්සු ඡන්දෙ දෙන්නෙ කියලා. නමුත් මහින්දට කල් තියා ජනාධිපතිවරණයකට යන්න බලපෑවෙ මොනවත් කරන්න බැරි තරමට ආර්ථික අර්බුදය වර්ධනය වෙමින්, ජනතාව අතර අප‍්‍රසාදය වැඩෙමින් තිබුණ නිසා. බුද්ධි අංශ වාර්තා අනුව, ආර්ථික උපදේශකයන්ගෙ අනාවැකි අනුව තමයි මහින්ද වේලාසනින් ඡන්දයකට ගියේ. තව ප‍්‍රමාද වුණා නම් කොහොමටක් පරාජයයි නියමිත වුනේ. මහින්දගෙ කාලෙදිත් වර්ධනය වෙමින් තිබුණ ආර්ථික අර්බුදයට කරගැහුවෙ ඉන් පස්සවෙ හවුල් ආණ්ඩුව. ඒ නිසා මේක මහින්දගේ දක්ෂකමක් ගැනවත් රනිල්-මෛත‍්‍රී ආණ්ඩුවේ සුවිශේෂී අදක්ෂකමක්වත් ගැන ප‍්‍රශ්නයක් නෙවෙයි, මේක ධනවාදයේ අසමත්කම නිසා ඇතිවන අර්බුදයක්. විසදන්න බැරි ආර්ථික අර්බුදය දිගින් දිගටම පැලැස්තර දමමින් යන එකේ ප‍්‍රශ්නය දැන් කියෙන්නෙ. ඒ නිසාම ආපහු මහින්ද හරි වෙන මොකෙක් ආවත් මේ ගැටලූවට විසදුම් දෙන්න හැකියාවක් නෑ.

එක්සත් ජාතික පක්ෂයට, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට, පොහොට්ටුවට ඡන්දය දුන් ජනතාවට අපි කියන්නෙ මේ කාරණා තේරුම් ගන්න කියලා. මේ සියලූ පක්ෂවල ඉන්නවා මේ තත්වය හරියට තේරුම් නොතත් රැවටිල්ලට භාජනය කළ කොටසක්. ජනතා විමුක්ති පෙරමුණට අපි ආරාධනා කරනවා. තවමත් වාමාංශික අදහස් ඇති වමේ ව්‍යාපාරයක් ගැන විශ්වාසය ඇති ජනතා ජයග‍්‍රහණ වෙන්වෙන් සටන් කරන්න අරමුණු තියෙන පිරිසක් එතන ඉන්නවා. ඒ සහෝදරවරු තවමත් අපට කතා කරනවා දුරකථනයෙන් කතා කරලා අහනවා, මොකද වෙන්නෙ සහෝදරයා, බැරිද ආපහු එකතු වෙන්න? අපි සියලූ දෙනාට ආරාධනා කරනවා, මේ තත්වය පරාජය කිරීමට වැඩ කරන්න අපි සියලූ දෙනා එකතු වෙන්න ඕන. මේ තත්වය පරාජය කරන ජනතා ව්‍යාපාරයක් අපි ගොඩනගන්න ඕන. හැබැයි මේක සරල නෑ, අමාරුයි. බල සූදුව නරඹනවා වගේ පහසු නෑ එයින් පරිබාහිරව අරගලයකට ජනතාව ඒකරාශි කරන එක. මේ නවලිබරල් වැඩපිළිවෙළට එරෙහි බලවේග සංවිධානය තරන එක අරගල කරන එක පහසු නෑ. ජනතාව එහි ගොදුරු බවට පත්කළ ඉතිහාසයක් තුළ ජනතාවට මේ අරගලය සදහා විශ්වාසයෙන් එකතු කරන එක අපි කරන්න ඕන. ඒ නිසා මේ සදහා පාර්ලිමේන්තුව මොන විදියකටවත් පාවිච්චි කරන්න බෑ කියලා අපි කියන්නෙ නෑ.

දැන් පසුගිය පළාත්පාලන මැතිවරණයට අපි ඉදිරිපත් නොවීම කියන්නෙ අපි හැම මැතිවරණයක්ම ප‍්‍රතික්ෂේප කරනවා කියලා නෙවෙයි. අපට සමහර මැතිවරණ අවශ්‍ය පරිදි අපේ අරගලය තුළ භාවිතා කරන්න තීන්දු ගන්න පුළුවන්. මැතිවරණවලින්ම දේශපාලන ජයග‍්‍රහණ ජනතාවට අත්පත් කරගන්න පුළුවන් කියලා අපි හිතන්නෙ නෑ. නමුත් අපි දේශපාලන අරගලයේදී ජනතාවට ජයග‍්‍රහණ අත්පත් කරගැනීම සඳහා විශ්වාස කරන ප‍්‍රමුඛ මාවත ජනතාව සමග කරන අරගලයයි. අපි කම්කරුවන් සමග වැඩබිම්වල, ගොවි ජනතාව සමග ගොවි බිම්වල ශිෂ්‍ය ව්‍යාපාරය සමග, තරුණ ව්‍යාපාර සමග කාන්තා ව්‍යාපාර සමග සිදුකරන අරගලවලින් තොරව ජනතාවට ජයග‍්‍රහණ අත්පත් කරගන්න නොහැකි බව විශ්වාස කරනවා. අපගේ ප‍්‍රධාන විශ්වාසය තියෙන්නෙ ජනතාව සමග කරන ඒ අරගලය තුළයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here