‘රාජපක්ෂලාගේ විශ්වාසභංගයෙන් රනිල් ගෙදර යවන්න බෑ’ – කබීර්ගේ පිළිතුරෙන් ශ්‍රිලංනීපය පසු බසී!

0

විශ්වාසභංග විවාද යෝජනාවේ ඡන්ද විමසීමට පෙර තනතුරින් ඉල්ලා අස්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් කළ ඉල්ලීම සම්පූර්ණයෙන්ම ඉවත දමමින් විශ්වාසභංගය අද (4දා) පාර්ලිමේන්තුවේදී පරාජය කිරීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන හවුල්කාර පක්ෂ නායකයන් මේ තීරණය ගනු ලැබුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟද අදහස් හුවමාරු කර ගනිමින් අනතුරුව බවයි වාර්තා වන්නේ.

විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර අග්‍රාමාත්‍යවරයා ඉවත් විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළ බව ශ්‍රීලනිප උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කොට තිබෙනවා.

මේ අතර ශ්‍රිලංනීපයේ තීරණය සමඟ නිමල් සිරිපාල සිල්වා ඇතුළු අමාත්‍යවරුන් කණ්ඩායම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හමු වී ඇති අතර එහිදි එක්සත් ජාතික පක්ෂ මහලේකම් කබීර් හෂීම් නිදහස් පක්ෂ අමාත්‍ය කණ්ඩායමට කන පැලෙන උත්තරයක් දුන් බවයි අප දේශපාලන වාර්තාකරු  වාර්තා කළේ. ඒ අනුව කබීර් හෂීම් අමාත්‍යවරයා පවසා ඇත්තේ, “මේ විශ්වාසභංගය ශ්‍රිලංනීපය හෝ ජනතා විමුක්ති පෙරමුණ ගෙනවිත් තිබුණා නම් අගමැතිවරයා සිය ධූරයෙන් අස්වීමට විතරක් නෙමෙයි අපි පක්ෂයක් විදියට පරාජය වෙන්නත් ඉඩ තිබුණා. ඒත් මේ යෝජනාව ගෙනාවේ ඔය දෙගොල්ලෝ නෙමෙයිනේ. මේක ගෙනාපු අය ඇයි මේක ගේන්නේ කියලා ඔයාලා හොදටම දන්නවා නේ. එතනින් එහාට කතා කරලා වැඩක් නෑ.”

කෙසේ වෙතත් එජාප මහලේකම්වරයාගේ මෙම ප්‍රකාශයත් සමඟ නිමල් සිරිපාල ඇමතිවරයා ඇතුළු කණ්ඩායම එතැනින් ඉවත් වූ බවත් අප වාර්තාකරු සඳහන් කළා.