මැතිවරණ අක්‍රමිකතා වලට එරෙහිව කඩිනමින් ක්‍රියා කරන්න!

0

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ආශ‍්‍රිතව වාර්තා වූ අක‍්‍රමිකතා පිළිබඳ නෛතික ක‍්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් පැෆරල් සංවිධානය මැතිවරණ කොමිසම වෙත ලිපියක් යොමු කොට තිබෙනවා.

මහින්ද දේශප‍්‍රිය මහතා,
සභාපති,
මැතිවරණ කොමිෂන් සභාව,
මැතිවරණ මහ ලේකම් කාර්යාලය,
රාජගිරිය.
 
2018-04-03
 
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ආශ‍්‍රිතව වාර්තා වූ අක‍්‍රමිකතා පිළිබඳ නෛතික ක‍්‍රියාමාර්ග ගැනී
 
පසුගිය දා අවසන් වූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම, අනෙකුත් මැතිවරණ හා සාපේක්‍ෂව ගත්කළ නිදහස් හා සාමකාමී වාතාවරණයක් යටතේ අවසන් වූ බව අපගේ විශ්වාසයයි. එහිලා යම් යම් අක‍්‍රමිකතා පැණ නැගිය හැකි පසුබිමක් පැවතිය ද අදාළ ආයතනයන්හි කඩිනම් මැදිහත්වීම් හේතුවෙන් එවැනි අහිතකර තත්ත්වයන් මතුවීම බොහෝ අවස්ථාවන්හි දී වැළකී ගිය බව අපගේ විශ්වාසයයි.
 
එසේ වුවද මැතිවරණ නීති උල්ලංඝණය කරමින් අනිසි මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාර හරහා ජයග‍්‍රහණය කරන ලදැයි සඳහන් වන අපේක්‍ෂකයන් සම්බන්ධයෙන් වන පැමිණිලි මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන වෙත ලැබී ඇත. එකී පැමිණිලි ඔබ කොමිෂන් සභාව වෙත ලබාදීමට ද අප සංවිධාන මැතිවරණය පැවති කාලසීමාවේදී පියවර ගෙන ඇත. 
 
ඊට සමගාමීව මැතිවරණ කොමිෂන් සභාව වෙත මෙන්ම ශ‍්‍රී ලංකා පොලීසිය වෙත ද එවන් ආකාරයේ පැමිණිලි ලැබී ඇතැයි යන්න අපගේ විශ්වාසයයි. එකී පැමිණිලි පිළිබඳව සළකා බලා චෝදනා එල්ල වී ඇති පාර්ශව මෙන්ම අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීම වඩාත් කාලෝචිත බව අපගේ අදහසයි. එවන් ක‍්‍රියාමාර්ග මෙරටේ අනාගත මැතිවරණ ක‍්‍රියාවලිය මෙන්ම සමාජ දේශපාලනික වාතාවරණය යම් වෙනසකට ලක් කිරීමට හේතු වන බැවින් ඒ සඳහා සුදුසු පියවර ගැනීමට ඉදිරිපත් වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමට කැමැත්තෙමු. තවද එවන් මැදිහත්වීම් මෙරටේ මැතිවරණ ක‍්‍රියාවලිය තුළ විද්‍යමාන විය හැකි පූර්වාදර්ශ බව ද මෙහිලා සඳහන් කරන්නෙමු.  
 
එමෙන්ම ශ‍්‍රී ලංකා පොලීසියේ මැදිහත්වීම ද සහතික කරමින් ඔවුන් ද එවන් ක‍්‍රියාමාර්ග ගැනීම සඳහා යොමු කිරීමට ක‍්‍රියාකරන ලෙස ඉල්ලා සිටීමට කැමැත්තෙමු.  ඒ අනුව මැතිවරණ අක‍්‍රමිකතා වලට එරෙහිව කටයුතු කිරීමේ වැඩි ඉඩකඩක් පවතින ප‍්‍රධානතම ආයතන ලෙස, ඔබ කොමිෂන් සභාව අදාළ නීතිමය කටයුතු සිදු කිරීම සඳහා මැදිහත්ව කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
 
මෙයට,
විශ්වාසි,
 
රෝහණ හෙට්ටිආරච්චි,
විධායක අධ්‍යක්‍ෂ

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here