ජනතාව බලාපොරොත්තු වූ සංහිඳියාව, යහපාලනය බල්ලාට ගිහිල්ලා….ජනපතිතුමණි දැන්වත් ස්වාධීන වෙන්න!

0

නියෝජ්‍ය කතානායකවරයාට හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් 6 දෙනෙකුට එරෙහි ව ගෙන ආ විශ්වාසභංග යෝජනාවක් ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කළද ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ අනුමැතිය යටතේ එම යෝජනා නැවත ගෙන ඒමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රි කණ්ඩායම පවසා සිටියා.

ඊයේ (07) පස්වරුවේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් එම කණ්ඩායම් සාමාජිකයඉන් පිරිසක් මේ බව සඳහන් කර සිටියා.

“මේ රටේ තියන දේශපාලන වාතාවරණායි එක්ක මෛත්‍රීපාල ජනාධිපතිතුමා ඉන්න විකට් එක එච්චර හොඳ නෑ. රට මේ විදියට ඉස්සරහට යන්න බෑ කියලා ජනතාවට ඒත්තු ගියහොත් ඉදිරියේදී රට දෝෂාභියෝග යෝජනාවකට රට තල්ලු වෙන්න බැරි නෑ. අතිගරු ජනාධිපතිතුමණි මේ රටේ මිනිස්සු ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙච්ච සංහිඳියාව, යහපාලනය බල්ලට ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා අපි පසුපෙළ මන්ත්‍රිවරු විදියට ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා, අපිට නැති වෙන්න දෙයක් නෑ, අපිට ඇමතිකම් නෑ. ඔය ඇමති කටු සූප්පූ කරන පිරිස තවදුරත් මේ ආණ්ඩුවේ තියා ගත්තොත් මේ රට කොහාටද ගෙනියන්නේ කියන එක ජනතාවට ලොකු ප්‍රශ්නයක් තියනවා.” පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ පවසා සිටියා.

එහිදි අදහස් දැක්වූ චමින්ද විජේසිරි මන්ත්‍රිවරයා,

“අපිට ජනතාව දුන්න පොරොන්දු ඉෂ්ට කරන්න බැරි වුණේ අපේ ආණ්ඩුව තුළ ඉදිමින්ම විනාශකාරි ලෙස පොහොට්ටුව පුප්පන්න වැඩ කරපු මැති ඇමතිවරු නිසා. ජනාධිපතිතුමණි ඔබතුමා දැන්වත් ස්වාධීන වෙන්න. දැන්වත් ඔබ ඒ පක්ෂග්‍රාහීව කටයුතු කරන විදියෙන් ඈත් වෙලා, ඔබතුමා රටට වැඩ කරන, පුද්ගලයෙක් බවට පත්වෙන්න. එහෙම නොවුනොත් පසුපෙළ මන්ත්‍රිවරයෙක් විදියට මගේ ස්වාධීනභාවය. මගේ දේශපාලන ස්ථාවරය මේ රටට පෙන්නන්න ඉදිරියේදි තමුන්නාන්සේලාට බලා ගන්න පුළුවන් මම කරන දේ.”