ඇස් බැන්දුම් නැතුව ජනතාවට දැනෙන ප්‍රතිසංවිධානයක් එජාපය කළ යුතුමයි!

0

එක්සත් ජාතික පක්ෂයේ සැබෑ ප්‍රතිසංවිධානයක් සිදුනොවන්නේ නම්, පත්වීම් ලිපි නොව ඉල්ලා අස්වීමේ ලිපි ලබාදීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ පවසනවා.

ගාල්ල – බද්දේගම ප්‍රදේශයේ ඊයේ (08) පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

“විශ්වාසභංග යෝජනාවේදි අපි අපේ නායකයා ආරක්ෂා කළා ඒ එක්කම ගමේ පාක්ෂිකයා අපෙන් ඉල්ලනවා, එක්සත් ජාතික පක්ෂය දිනවන්න පුළුවන් ප්‍රතිසංවිධානයක් ඇති කරන්න, දිනවන්න පුළුවන් නායකත්වයක් ඕනෑ කියන එක. අලූත් මුහුණුවරක් පක්ෂයට ඕනෑ කියන එක. ඒ කාලයේ රජවරු වෙස්වලාගෙන ගියාලු. රජාට දොස් කියනවා නම් රජා මාලිගයට ඇවිල්ලා තමන්ගේ වැරදි හදා ගත්තාලු. අනේ වෙස් වලාගෙන ගිහිල්ලා කොහේ හරි අහන්න එක්සත් ජාතික පාක්ෂිකයෝ මොනවද කියන්නේ කියලා. අන්න ඒ අනුව මුලින්ම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානයක් ඇති කරන්න. අර මණ්ඩලය මේ මණ්ඩලය, අර කමිටුව මේ කමිටුව කියලා නිකන් ඇස් බැන්දුම් කරන්නේ නැතුව දැනෙන ප්‍රතිසංවිධානයක් කරන්න කියලා.” මන්ත්‍රිවරයා පවසා සිටියා.

මේ අතර එක්සත් ජාතික පක්ෂ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අගමැතිවරයාට බාර දී තිබෙනවා. පක්ෂයේ ප්‍රතිසංවිධානය වැඩපිළිවෙළට සහය දැක්වීම සඳහා තමන සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළා.