ජනතාව හුලං…..අගමැති පක්ෂ වෙච්ච අයට අවුරුදු තෑගි දෙනවා……උන්ට කිරි…රටට කැකිරි..!

0

කැබිනට් ඇමැතිවරුන්ට සුරසැප ලබාදෙන මේ ආණ්ඩුව ජනතාව වෙනුවෙන් කිසිවක් නොකරන බවත් විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයේදී අගමැතිවරයා ආරක්‍ෂා කිරීමට ක්‍රියා කළ ශ්‍රී ලනිප අමාත්‍යවරුන්ට අවුරුදු තෑගි ලබාදීම මේ වන විට ආරම්භ කර ඇති බවත් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් ප්‍රකාශ කරනවා.

ඊයේ (09) බත්තරමුල්ල නෙළුම් මාවතේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු මේ බව පවසා සිටියා.

එහිදි අදහස් දැක්වූ මහාචාර්ය ජී එල් පිරීස් මෙසේ පවසා සිටියා.

“විශ්වාසභංග යෝජනාවේදී අගමැතිවරයාට විරුද්ධව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අමාත්‍යවරුන් දහසය දෙනා එම තනතුරුවලින් ඉවත් කරන ලෙසට එක්සත් ජාතික පක්‍ෂය විසින් ජනාධිපතිවරයාට දැනුම්දී තිබෙනවා. නමුත් ජනාධිපතිවරයා විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. එනිසා එම අමාත්‍යවරුන් දහසය දෙනා අගමැතිවරයා සමඟ තවමත් එකම කැබිනට් මණ්ඩලයේ කටයුතු කරනවා. මේක මහ පුදුමසහගත තත්ත්වයක්.”

“එමෙන්ම ජනාධිපතිවරයා විවේචනය කළ එක්සත් ජාතික පක්‍ෂයේ අමාත්‍යවරුන්ද එම තනතුරුවලින් ඉවත් කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් ඉල්ලා තිබෙනවා. රජයේ පොදු අරමුණු ක්‍රියාත්මක කිරීම කැබිනට් මණ්ඩලයේ වගකීමක්. ඔවුන් කිසිවිටෙකත් කැබිනට් මණ්ඩලයේ තීන්දු තීරණ විවේචනය නොකළ යුතුයි. කැබිනට් මණ්ඩලයේ එලෙස සුහදතාවක් ඇතිවීමට නම් ඔවුනොවුන් අතරේ අනේ‍යාන්‍ය වශයෙන් ළෙන්ගතුකමක් තිබිය යුතුයි. නමුත් ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක මේ ආකාරයට කාකොටා ගැනීම තුළ ආණ්ඩුවට සාර්ථක ගමනක් යන්න බැහැ.”

“ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වය විසින් එක්සත් ජාතික පක්‍ෂය ආරක්‍ෂා කරනවා. එක්සත් ජාතික පක්‍ෂය නායකත්වය අර්බුදවලට ලක්වූ සෑම අවස්ථාවකදීම නායකත්වය විසින් නොයෙකුත් දේ දෙමින් අර්බුද යට ගහනවා. අර්බුද සමනය වූ වහාම දුන් පොරොන්දු අමතක කරනවා. මෙවර ඇති එකම වෙනස තීන්දු තීරණ ගැනීම සඳහා නායකත්ව මණ්ඩලයක් පත් කිරීම පමණයි.”

“මේ වනවිට විපක්‍ෂය ලෙස පිළිගනු ලබන දෙමළ සන්ධානය අපේ රටේ සැබෑ විපක්‍ෂය ලෙස පිළිගන්න බැහැ. ඔවුන් සෑම විටම ක්‍රියාකරන්නේ රජයේ අන්තර්ගත කොටසක් ලෙසටයි. ඒ නිසා මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නම් කරනු ලබන පුද්ගලයකුට විපක්‍ෂ නායකත්වය ලබාදිය යුතුයි. විශ්වාසභංග යෝජනාවට විරුද්ධව තම ඡන්දය ලබාදීම සඳහා ඔවුන් අගමැතිවරයා සමඟ ලිඛිතව පොරොන්දු අස්සන් කර ගත්තා. උතුර, නැඟෙනහිර පළාත්වල හමුදා කඳවුරු ඉවත් කිරීම, එම ප්‍රදේශවලට දෙමළ ජාතික දිසාපතිවරුන් පමණක් පත් කිරීම, එම ප්‍රදේශවල රැකියා අවස්ථා වෙනත් ප්‍රදේශවල පුද්ගලයන්ට ලබානොදීම ආදී පොරොන්දු එයට ඇතුළත්ව තිබෙනවා. එකම භාෂාවක් පමණක් කතා කරන පුද්ගලයන් තනතුරුවලට පත්කිරීම සංහිඳියාවට බාධාවක්.”