අගමැතිවරයාට විරුද්ධ වූ ශ්‍රිලංනීප 16 දෙනා 19 වෙනිදාට විපක්ෂයේ වාඩි වෙනවා…..!

0

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමතිවරුන් දහසය දෙනා, තව දුරටත් එම පදවිවල රැඳී සිටීම සදාචාරමය නොවන හෙයින් මීලඟ පාර්ලිමේන්තු දිනයේ දී විපක්ෂයේ අසුන් ගන්නා බව රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසා සිටියා.

බී.බී.සි සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“අපි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නා. එහෙම කළේ විශ්වාසභංග යෝජනාවට ඇතුළත් චෝදනාවලින් එකොළහක්ම බැඳුම්කරය සම්බන්ධයෙන් අප පක්ෂය විසින් පත් කරන ලද කමිටුවේ නිර්දේශ වීම නිසා. අපි අගමැතිතුමාට විරුද්ධව ඡන්දය පාවිච්චි කළා. ඒ නිසා අපි ඇමතිකම් දැරීමට අකැමැති බවත් ඉන් ඉවත් වීමට අවසර දෙන ලෙසත් ඉල්ලමින් මීට දින කීපයකට පෙර ජනාධිපතිතුමාට ලිපියක් භාර දුන්නා”

“අපි කණ්ඩායම ලබන දහනව වෙනිදා විපක්ෂයේ වාඩි වෙනවා. ඒත් අපේ සමස්ත බලාපොරොත්තුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට ඉවත් වුනොත් වඩා වැදගත් කියන එකයි. විපක්ෂයේ අසුන් ගන්නා නමුත් තම කණ්ඩායම රටේ වැදගත් කරුණු වලදී ඒවාට උදව් කරන අතර ජනාධිපතිවරයා ආරක්ෂා කරනවා.” රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කණ්ඩායමක් අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සඳහා ඡන්දය විමසන අවස්ථාවේ සභා ගැබෙහි නොසිටි අතර, ඔවුන් දිගටම ආණ්ඩුවේ ඇමතිකම් දැරීමත් සමඟ පක්ෂයේ බෙදීමක්- විකෘති සහගත තත්වයක් ඇති වෙනවා නොවේදැයි බිබිසි සේවය රාජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසා සිටියා.

“එහෙම වෙන්නේ නැහැ .ඒ අය දිගටම වැඩ කර ගෙන යාවි. ජනතාව ඒ අය ගැන තීන්දුවක් ගනීවි. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂය හැටියට පක්ෂය ප්‍රතිසංවිධානය කර ගෙන යනවා. ඇමති පදවිවලින් ඉවත් වෙන අය ගැන සහ ඇමති පදවිවල ඉන්න අය ගැන තීන්දුව ගැනීම ජනතාවට භාර දෙනවා. අපි බය නැහැ. අපට තේරෙනවා සිද්ධ වෙන වැඩේ මොකක්ද කියල. ඒ අනුව ඉදිරි වැඩ කටයුතු කර ගෙන යනවා” රාජ්‍ය අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා.

Lakshman Yapa Abeywardena

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here