පොල් ලෙල්ලම් නෙමේ ගූ බෙට්ටක් දැම්මත් ඡන්දය දෙන ජනතාවක් ඉන්නේ…රටේ තියෙන්නේ දේශපාලන අස්ථාවරකමක් නෙමෙයි අරාජිකත්වයක්!

0

රටේ පවතින දේශපාලන අරාජිකත්වයෙන් මිදීමට නම් අවශ්‍ය වන්නේ කැබිනට් මණ්ඩල සංශෝධනයක් නොව ආණ්ඩුව විසුරුවා හැරීමක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලික සභික කේ ඩී ලාල්කාන්ත පවසනවා.

අද (11) එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

“අපි කැබිනට් සංශෝධන කරන්න ඕන කියන්නේ නෑ. අපි කියන්නේ ආණ්ඩුව විසුරුවා හරින්න ඕන කියලයි. ප්‍රශ්නේ තියෙන්නේ අපේ රටේ රාජ්‍ය නායකයාට දැන් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ. ඊලඟට ගත්තාම පාර්ලිමේන්තුව විසින්ම පාර්ලිමේන්තුව විසුරුවා ගන්නෙත් නෑ. මන්ත්‍රිකම් වල රස ඇමතිකම් වල රස භුක්ති විදින නිසා එහෙම විසුරුවා හරින්න බෑ. ඉතින් මේ අරාජිකත්වය දිගින් දිගටම පවසනවා. මේ රටට දැන් මේ රටේ තියෙන්නේ දේශපාලන අස්ථාවරත්වයක් නෙමෙයි. දැන් මේ ඇති වෙලා තියෙන්නේ දේශපාලන අරාජිකත්වයක්. අද ලේකම් නෙමෙයි හෙට ලේකම්. අලුතින් සභාපතිලා දාගෙන එනකොට ආයිමත් ඇමති මාරු වෙලා ඉවරයි. ඉහළ සිට පහළටත්, පහළ සිට ඉහළටත්, රවුමටත්, හරහටත් අවුල් වෙලා තියෙන්නේ.”

“අපේ රටේ කැබිනට් ඇමතිවරුන්ට ලැජ්ජාවක් නැහැ. ඒවගේම සදාචාරයකුත් නැහැ. එවැනි ඇමතිවරුන්ට ඡුන්දය දෙන ජනතාවත් ඒකට වගකියන්න ඕනෑ. උත්සව සමයේ ආගමික ස්ථානවලට යන ඇතැම් ජනතාව තමන් ගෙනියන බෑග් ඇතුළු අපද්‍රව්‍ය පූජා භූමියේම දාල එනවා. සෙවන ලබා ගන්න ගහක් යටට යන පුද්ගලයන් එතැන කැත කරලා එනවා. එවැනි ජනතාවක් බුද්ධිමත් යැයි කියන්නේ කොහොමද? ඒනිසා බුද්ධිමත් නොවන ජනතාවක් රටේ ඉන්නවා. එවැනි ජනතාවක් පත්කරන ඇමතිවරුන් පිළිබඳ වගකීම ඔවුන් භාරගන්න ඕනෑ. එවැනි ජනතාවක් ඉන්න නිසා තමයි බන්දුල ගුණවර්ධන කිව්වේ පොල්ලෙල්ලක් දැම්මත් දිනනවා කියලා. ඇතත්ටම පොල්ලෙල්ලක් නොවෙයි බලූ බෙට්ටක් දැම්මත් ඡන්දය දෙන ජනතාව අපේ රටේ ඉන්නවා.” ඔහු මෙහිදි පවසා සිටියා.