ආණ්ඩුවට රෙදි නැතුව කඩේ යන සම්බන්ධන්ට විපක්ෂනායක වෙන්න සදාචාරත්මක අයිතියක් නෑ….!

0

විශ්වාසභංග යෝජනාවේ දී අගමැති ආරක්ෂා කරන්නට කැපවුණු දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායක ධූරය දැරීම තබා විපක්ෂයේ අසුන් ගැනීමටවත් සදාචාරාත්මක අයිතියක් නොමැති බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග පවසා සිටියා.

විපක්ෂ නායක ධූරයේ සැබෑ අයිතිය ඇත්තේ රනිල් වික්‍රමසිංහට කඩේ යන පක්ෂ නායකයන්ට නොව තුන් වසරක් තිස්සේ වර්තමාන දේශද්‍රෝහී ආණ්ඩුවට එරෙහිව සටන් කරන ඒකාබද්ධ විපක්ෂයට බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළා.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ සිංහල සහ ‍හින්දු අලුත් අවුරුදු උළෙල නිමිත්තෙන් මිනුවන්ගොඩ ආසනයේ පක්ෂ ක්‍රියාකාරීන් හමු වූ අවස්ථාවේදීය.

“මේ වතාවේ උදා වෙලා තියන්නේ ජනතාවට කිරිබතක්වත් උයා ගන්න බැරි වුණු අවුරුද්දක්. පොල් ගෙඩිය රුපියල් සීයට ගිහින් හාල් කිලෝව එකසිය විස්සට ගියාම කොහොමද මිනිස්සු කිරිබත් උයන්නේ කියලා මේ ආණ්ඩුවට කල්පනා වෙන්නේ නැහැ. එහෙම වෙලා තියෙන්නේ මේ ආණ්ඩුවේ ඉන්න කිසිම නායකයකුට ජනතාව කන බොන විදියෙන් වැඩක් නැති නිසයි.”

“ජනාධිපතිවරයා නමට සරළ ජනාධිපති වුණාට, ගොවි පුතා වුණාට වැඩක් නැහැ මිනිස්සුන්ට අතදිග ඇරලා සිහංල අවුරුද්ද සමරන්න ඉඩක් නැත්නම්. අගමැතිවරයා නම් කුරුඳුවත්තේ ස්ටයිල් හින්දා සිංහල අවුරුද්දෙන් වැඩක් නැහැ. මං දැක්කා එතුමා අවුරුදු සැමරිල්ල පැත්තක තියලා නුවරඑළිය පැත්තේ ගිහින් කේක් කපනවා. අවුරුද්දට කේක් කපන අගමැති කෙනෙක් හරියන්නේ ලංකාවට නෙමේ එංගලන්තය වගේ රටකටයි.”

“මේක තමයි මේ යහපාලන ආණ්ඩුවේ ගමන් මාර්ගය. ජනතාවට හෙන ගැහුවත් කමක් නැහැ තමන්ගේ බලය රැකෙනවා නම්. උදේ ඉඳන් රෑ වෙනකම් කල්පනා කරන්නේ ජනතාවට සහන දෙන්නේ, රට සංවර්ධනය කරන්නේ කොහොමද කියලා නෙමේ තමන්ගේ බලය රැකගන්නේ කොහොමද කියලයි. ඒ වගේ තුප්පහි ආණ්ඩුවක් මේක. අවුරුදු තුනක් රට කෑවා ඇර රට වෙනුවෙන් කරපු එක වැඩක් නැහැ.”

“මම දැක්කා සමහරු කියනවා අගමැතිවට එරෙහිව විශ්වාසභංගයට සහයෝගය පළ කරපු නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්ට කැබිනට් මණ්ඩලයේ ඉන්න අයිතියක් නැහැ කියලා. එතකොට අපි අහන්න කැමැතියි අගමැතිව ආරක්ෂා කරන්න කටයුතු කරපු අර විපක්ෂ නායකවරයා ඇතුළු දෙමළ සන්ධානයට විපක්ෂයේ ඉන්න අයිතියක් තියෙනවද කියලා.”

“අගමැතිව, ආණ්ඩුව රකින්න විපක්ෂ නායකවරයා රෙදි නැතුව කඩේ යන එකම රට ලංකාව වෙන්න ඇති. අගමැතිගේ පදයට නටන විපක්ෂ නායක ඊට වඩා හොඳයි ආණ්ඩුවට ගිහින් ඇමැතිකමක් ගත්තා නම්. මේ විපක්ෂ නායක ධූරයේ සැබෑ අයිතිය තියෙන්නේ ඒකාබද්ධ විපක්ෂයට මිසක් ආණ්ඩුව රකින්න රෙදි නැතුව කඩේ යන දෙමළ ජාතික සන්ධානයට නෙමෙයි.”

“පහුගිය අවුරුදු තුන පුරාම මේ ආන්ඩුවේ දේශද්‍රෝහී වැඩපිළිවෙළට එරෙහිව සටන් කළේ ඒකාබද්ධ විපක්ෂය පමණයි. ඒ හින්දයි ජනතාව පසුගිය පළාත් පාලන මැතිවරණයේ දි ඒකාබද්ධ විපක්ෂය සහයෝගය දැක් වූ පොදුජන පෙරමුණට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා දුන්නේ. මේ ‍රටේ සැබෑ විපක්ෂය ඒකාබද්ධ විපක්ෂය කියන එක දැන් රටටවත් ලෝකයටවත් රහසක් නෙමෙයි.”

“ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළාට ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික කරුණු ගැනවත් සලකන්නේ නැහැ. විපක්ෂයේ සිටින ලොකුම මන්ත්‍රී කණ්ඩායම සිටින්නේ අපටයි. මන්ත්‍රීවරුන් 56ක් සිටින අපට විපක්ෂ නායකකම නොදී මන්ත්‍රිවරුන් 16ක් සිටින දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායක ධූරය දරන්න අවස්ථාව දීලා තියෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ මොන නිර්ණායකය මතද කියලා අපි ආණ්ඩුවෙන් අහනවා.”

“අද නිදහස් පක්ෂය තුනට කැඩිලා ඉවරයි. ඒකේ ඉන්නවා ජනාධිපතිවරයාට සහයෝගය පළ කරන මන්ත්‍රිවරුන් පිරිසක්.  එයාලා තමයි මෛත්‍රී පිල. ඊළඟට ඉන්නවා රනිල්ට සහයෝගය පළ කරන මන්ත්‍රීවරුන් කණ්ඩායමක්. විශ්වාසභංගයට සහයෝගය නොදි ගෙවල්වල ඇඳන් යට රිංගපු සමහර ලේකම්ලා එහෙම අයිති වෙන්නේ නිදහස් පක්ෂයේ මේ රනිල් පිලටයි.”

“ඊළඟට ඉන්නවා නිදහස් පක්ෂයේ වැඩිම පිරිසක් නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂය හෙවත් මහින්ද පිල. රට වෙනුවෙන් කතාකරන, රට වෙනුවෙන් පෙනී සිටින සැබෑ මහජන නියෝජිතයන් ඉන්නේ මේ මහින්ද පිලෙයි. අපි අනෙක් මන්ත්‍රීවරුන්ටත් ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා. හැබැයි ඔය රනිල්ගේ කටු ලොවන අයන නම් අපි භෘරගන්න සූදානම් නැහැ.”

“මොකද මහලොකු ඇමැතිකම් දැරුවත් ඒ අය දැන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා ඉවරයි.  ඒ අය දැන් දේශපාලනමය වශයෙන් අවලංගු කාසි. අපේ පැත්තේ ඉන්න දේශප්‍රේමී මන්ත්‍රීවරුන් එක්ක හැරෙන්නවත් ඔය රනිල්ගේ දේශද්‍රෝහී නගුටන්ට ඉඩක් නැහැ. පක්ෂයට මේ ඉරණම අත්කළේ වර්තමාන ජනාධිපතිවරයයි සන්ධානයේ සහ නිදහස් පක්ෂයේ වත්මන් ලේකම්වරුන් දෙන්නයි.”

“ඒ අය එකතු වෙලා තමයි නිදහස් පක්ෂයේ ගෙල සිර කළේ. ඒ අය එකතු වෙලා තමයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් එලවලා දාලා බබා දේශපාලනඥයන්ට ප්‍රධාන තනතුරු දීලා පක්ෂය විනාශ කළේ. මේ සාපයෙන් ගැලවෙන්න එයාලට කවදාවත් බැහැ. බණ්ඩාරනායක මහත්තයා ජීවතුන් අතර හිටියා නම් පක්ෂය විනාශ කරපු ද්‍රෝහීන්ට හොඳ පාඩමක් උගන්වයි.” මන්ත්‍රිවරයා පවසා සිටියා.

Prasanna Ranatunga