හොරණ සේවකයන් 5 දෙනෙකු මිය යැමේ සිද්ධියේ වගකිවයුත්තා මෙන්න

0

හොරණ බැල්ලපිටිය සපත්තු කර්මාන්තශාලවක රසායනික ද්‍රව්‍ය අඩංගු වළකට වැටී එහි සේවකයින් පස් දෙනකු මිය යැම සහ තවත් පුද්ගලයින් 12 දෙනකු හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් රෝහල්ගත කිරිම සම්බන්ධයෙන් සෘජුවම පරිසර ඇමතිවරයා වශයෙන් ජනාධිපතිවරයා භාර ගත යුතු යැයි පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු රංජිත් විතානගේගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

හොරණ ප්‍රදේශයේ පිහිටි රබර් කර්මාන්ත ශාලාවක ඇතිවූ අවාසනාවන්ත සිදුවීමෙන් මිය ගිය පස් දෙනාගේ වටිනා ජීවිතවල වගකීම සෘජුවම පරිසර ඇමතිවරයා වශයෙන් ජනාධිපතිවරයා භාර ගත යුතු බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය ලෙස අපි තරයේ ප්‍රකාශ කරමු.

මෙවැනි කර්මාන්ත ශාලා පිළිබදව සොයා බැලීම කළ යුත්තේ ජනාධිපති වරයා යටතේ ඇති මධ්‍යම පරිසර අධිකාරීයයි. මධ්‍යම පරිසර අධිකාරියේ දූෂණ වංචා පිළිබදව අප සංවිධානය විසින් ජනාධිපතිවරයාට කිහිප විටක්ම පැමිණිලි කළද එම පැමිණිලිවලට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.මෙරට මාධ්‍ය ආයතන පවා මෙම කර්මාන්ත ශාලාව ඇතුළු තවත් කර්මාන්ත ශාලා පිළිබදව නොයෙක් වර හෙළිදරව් කර ඇත .

සමහර කර්මාන්ත ශාලා සදහා අවශ්‍ය පරිසර සහතික ලබා ගෙන නැති අතර තවත් කර්මාන්ත ශාලා පරිසර සහතික ලබා ගෙන ඇත්තේ මධ්‍යම පරිසර අධිකාරියේ නිළධාරීන්ට අල්ලස් ලබා දීමෙන් බව අප වගකීමෙන් පවසන්නෙමු.

පාලකයන්ගේ වැරදි වලට ජනතාව දඩුවම් විදින යුගය වහා නතර කිරීමට රජය කටයුතු කළ යුතු අතර අදාළ කර්මාන්ත ශාලාවේ ඇති වූ සිදුවීමට ජනාධිපතිවරයා කණගාටුව ප්‍රකාශ කිරීමෙන් හෝ වන්දි ලබා දීමෙන් පමණක් නොනැවතී මෙරට කර්මාන්ත ශාලාවල සේවය කරන සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් මධ්‍යම පරිසරි අධිකාරියේ දූෂණ වංචා පිළිබදව සොයා බැලීමට කටයුතු කරන ලෙසත් අප ජනාධිපති වරයාගෙන් ඉල්ලා සිටිමු.