පළාත් සභා මැතිවරණ ක‍්‍රමයේ සිදුවිය යුතු සංශෝධන පිළිබඳ සොයාබැලීමට සර්ව පාක්ෂික සමුළුවක්!

0

පළාත් සභා මැතිවරණ ක‍්‍රමයේ සිදුවිය යුතු සංශෝධන පිළිබඳ සොයාබැලීමට මැති ඇමතිවරුන් ඇතුලූ දේශපාලන පක්ෂ ප‍්‍රධානීන්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයින්, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමා ඇතුලූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්, සිවිල් සංවිධාන ප‍්‍රධානීන් වැනි විවිධ පාර්ශවයන් සමග සර්ව පාක්ෂික සමුලූවක් පවත්වා තිබෙනවා.

ඊයේ (25) වෝටර්ස් ඒජ් හිදි පැවති මෙම සමුළුවවේදි පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමේ අත්දැකීම්ද සැලකිල්ලට ගනිමින් ඉදිරි පළාත් සභා මැතිවරණ ක‍්‍රමය කෙසේ විය යුතුද යන්න සාකච්ඡා වී ඇති අතර එහිදි පළාත් සභා මැතිවරණය නව ක‍්‍රමයකට පවත්වන්නේද නොඑසේනම් පැරණි මනාප ක‍්‍රමයටම පවත්වන්නේද යන්න පිළිබඳව ද අවධානය යොමු වී තිබේ.

පළාත් පාලන ඡන්ද විමසීමෙන් පසුව මතුව ඇති අර්බුධකාරී තත්ත්වයන් පිළිබඳව දීර්ඝව සාකච්ඡාවූ අතර එවැනි තත්ත්වයන් ඇති නොවීමට පළාත් සභා මැතිවරණ ක‍්‍රමයේ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව අදහස් හා යෝජනා විශාල ප‍්‍රමාණයක් ඉදිරිපත්විය.

මෙම යෝජනා පිළිබඳව ගැඹුරින් සලකා බලමින් ප‍්‍රායෝගික තත්වයන්ට ගැලපෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික ගුණාංග ආරක්ෂා වන මැතිවරණ ක‍්‍රමයක් යෝජනා කිරීමට විවිධ ක්ෂේත‍්‍රවල ප‍්‍රාමාණික අවබෝධයක් සහිත විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට යෝජනා වූ අතර එලෙස සකස් කරගන්නා යෝජනාවලිය ඉතා ඉක්මණින් සියලූ දේශපාලන පක්ෂ වෙත ලබාදීමට අපේක්ෂා කරනු ලබන බව පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා එහිදී පැවසීය.

මෙම සමුලූව නියෝජනය කරමින් අදහස් දැක්වූ සියලූ දෙනාගේම පොදු අදහස වූයේ කුමන ක‍්‍රමයකට මැතිවරණය පැවැත්වීමට තීරණය කලද මැතිවරණය ප‍්‍රමාදවීමට මැතිවරණ ක‍්‍රමය බාධාවක් නොවිය යුතු බවයි.

මෙම සර්ව පාක්ෂික සමුලූව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, මැතිවරණ කොමිෂන් සභාව, පැෆ්රල් සංවිධානය හා මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය ඒකාබද්ධව සංවිධානය කරනු ලැබීය.