ජනපතියි අගමැතියි විද්‍යාත්මක වෙන්න එපැයි ඇමති මණ්ඩලය විද්‍යාත්මක වෙන්න

0

විද්‍යාත්මක ක්‍රමයට සිතීමට පවා නොහැකි ජනාධිපතිවරයෙක් හා අගමැතිවරයෙක් යටතේ විද්‍යාත්මක ඇමතිධූරයක් පත් වීම ගැන හිතීමට හෝ නොහැකි බවත් මුලින් ජනාධිපතිධූරය හා අගමැතිධූරය වෙනස් විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පවසනවා.

අද (01) පැවති මාධ්‍ය හමුවකදි අදහස් දක්වමින් මන්ත්‍රිවරයා කැබිනට් සංශෝධනය පිළිබඳව මෙන්ම විධායක ජනාධිපතිධූරයට විරුද්ධ වන්නන්ට අභියෝග  කිහිපයක්ද ඉදිරිපත් කරනු ලැබූවා.

“ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් එකතු වෙලා අද දවසේ විද්‍යාත්මක ක්‍රමයට ඇමති මණ්ඩලයක් පත් කරනවාලු.  පළමුව කියන්න ඕනෑ මේ ආණ්ඩුව අවම වශයෙන් විද්‍යාත්මක ක්‍රමය කියන්නේ මොකද්ද කියලා දන්නේ නෑ.  පරීක්ෂණයක් කරලා දකින නිරීක්ෂණ අනුව නිගමනයකට එළැඹීම තමයි විද්‍යාත්මක ක්‍රමය කියන්නේ.  ඒක දැනුම ලබා ගන්නා එක ක්‍රමයක්.  ඇමතිවරුන්ට විෂයන් වෙන් කළ යුත්තේ විද්‍යාත්මක ක්‍රමයකට නොවේ.  තාර්කික ක්‍රමයකට.”

“මුලින්ම ඔය පොරොන්දුව දුන්නේ පසුගිය ජනපතිවරණයේ දී.  2015 ජනවාරි මාසයේ ඇමති මණ්ඩලය පත් කිරීමේ දී තමයි මහ බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් ඉවත් කරලා අගමැතිට දුන්නේ.  2015 සැප්තැම්බර් මාසයේ ඇමති මණ්ඩලය පත් කිරීමේ දී තමයි උසස් අධ්‍යාපන සහ මහ මාර්ග කියලා අපූරු අමාත්‍යාංශයක් ඇති කලේ. ඒක බිහිකල දා ඉදලා උසස් අධ්‍යාපන සිසුන් මහා මාර්ගයේ තමයි.  2017 මැයි මාසයේ ඇමති මණ්ඩල සංශෝධනයේ දී තමයි ලොතරැයි මණ්ඩලය විදේශ අමාත්‍යාංශයට පැවරුවේ. එමගින් ලොව ලොතරැයි විකුණන එකම විදේශ ඇමති බවට ශ්‍රී ලංකාවේ විදේශ ඇමතිවරයා පත්වුනා.   2018 මාර්තු මාසයේ ඇමති මණ්ඩල සංශෝධනයේ දී තමයි තරුණ කටයුතු රාජ්‍ය ඇමති ලෙස හැට පැන්න තරුණයෙකු පත් කලේ.  මේ ජනපතියි අගමැතියි එකතු වෙලා ඇමති මණ්ඩල පත් කිරීමේ දී විද්‍යාත්මක ක්‍රමයක්වත් තාර්කික ක්‍රමයක්වත් බලාපොරොත්තු වෙන්න බෑ.  ඒ නිසා මුලින්ම කළ යුත්තේ  තාර්කික ක්‍රම වේදයකට හිතන්න පුළුවන් ජනපති කෙනෙක් සහ අගමැති කෙනෙක් පත් කර ගැනීමයි.  මේ වාරයේ වත් පොරොන්දු වුණු පරිදි තිස් දෙනෙකුගේ ඇමති මණ්ඩලයක් පත් කිරීමට ජනපති සහ අගමැතිට චේතනාව පහළ වේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා.”

විධායක ජනපති විරෝධීන්ට ප්‍රශ්න පහක්

“විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු කියන අය අවම වශයෙන් විධායක ජනාධිපති ක්‍රමය කියන්නේ කුමක්ද කියා වත් දන්නේ නැති බව මේ අයගේ කියුම් කෙරුම් වලින් පැහැදිලියි.  මේ අය යෝජනා කරන්නේ 1978ට පෙර තිබුණු වෙස්ට්මින්ස්ටර් ක්‍රමයට යළි යෑමටයි.  ඒ නිසා ඒ අයගේ දැනුම වර්ධනය වෙන්නත් එක්ක මේ ප්‍රශ්න පහට පිළිතුරු ලබා දෙන්න කියා ඉල්ලා සිටිනවා.”

ප්‍රශ්න අංක 1

“ලෝකයේ රටවල් 95ක් විධායක ජනාධිපති ක්‍රමය ක්‍රියාත්මක කරද්දී වෙස්ට්මින්ස්ටර් ක්‍රමය ක්‍රියාත්මක වන්නේ රටවල් 44ක පමණයි.  විධායක ජනාධිපති ක්‍රමය ඒකාධිපති ක්‍රමයක් නම් ලොව බහුතරයක් රටවල් ආදරයෙන් වැළඳ ගත් ජනප්‍රියම ක්‍රමය බවට පත් වුණේ කොහොමද?”

ප්‍රශ්න අංක 2

“විධායක ජනාධිපති ක්‍රමය පීඩාකාරි නම් එයින් වැඩිම පීඩාවට පත් විය යුත්තේ වසර 229ක් පුරාවට එය ක්‍රියාත්මක වන ඇමෙරිකා එක්සත් ජනපදයේ.  ඒ රටේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු කියා ඉතිහාසයේ කිසිම දවසක උද්ඝෝෂණයක් තබා මැසිවිල්ලක් වත් මතු නොවන්නේ ඇයි?”

ප්‍රශ්න අංක 3

“ලෝකය පුරා ප්‍රවණතාවය වන්නේ වෙස්ට්මිනිස්ටර් ක්‍රමය අත් හරිමින් විධායක ජනාධිපති ක්‍රමය වැළඳ ගැනීමයි.  විධායක ජනාධිපති ක්‍රමයෙන් නැවත වෙස්ට්මින්ස්ටර් ක්‍රමයට මාරු වී ඇත්තේ රටවල් දෙකක් පමණයි.  විධායක ජනාධිපති ක්‍රමය අහිතකර නම් ලොව පුරා රටවල් එම ක්‍රමයට මාරු වෙන්නේ ඇයි?”

ප්‍රශ්න අංක 4

“වෙස්ට්මින්ස්ටර් ක්‍රමය බිහි වුණේ එංගලන්තයේ.  ජනතා අරගල වල ප්‍රතිඵලයක් ලෙස රජුගේ බලය ක්‍රමයෙන් ඡන්දයෙන් පත් වන අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලයට හිමි වුණා.  ප්‍රජාතන්ත්‍රවාදි රාමුව තුල රජතුමා ස්ථාන ගත කරන්න ඕනෑ නිසා තමයි වෙස්ට්මින්ස්ටර් ක්‍රමය බිහි වුණේ. මුලු ලෝකයේම දේපල හොරකම් කරලා එංගලන්තය පෝසත් කරපු  රජ පවුලටත් කළ ගුණ සලකන්න තැනක් දෙන්න ඕන නිසා තමයි  බලයක් නොමැති නාමමාත්‍ර රාජ්‍ය නායක බවට එංගලන්තයේ රජතුමා පත් වුණේ.  රජවරු සිටින බොහෝ රටවල් මෙම ක්‍රමය තෝරා ගත්තා.”

“තමන්ගේ යටත් විජිත ප්‍රජාතන්ත්‍රකරණයේ දී එංගලන්තය, පෘතුගාලය, නෙදර්ලන්තය සහ ස්පාඤ්ඤය මේ ආකෘතිය හඳුන්වා දුන්නා.  නමුත් මේ රටවලට නිදහස ලබා දෙන විට ඒ රටවල රාජ්‍ය නායකයා වෙන්න රජෙකු නොමැති නිසා වෙස්ට්මින්ස්ටර් ආකෘතිය අර්බූදයට ලක් වුණා.  ඊට විසඳුමක් විධියට තමයි රජු වෙනුවට නාමමාත්‍ර ජනාධිපති තනතුර බිහි කලේ.  අපේ රටේ රජෙකුත් නැති එකේ නාමමාත්‍ර ජනාධිපති කෙනෙකු නඩත්තු කරන්න රුපියල් බිලියන ගණනක් වෙන් කරන්න වෙර දරන්නේ ඇයි?”

ප්‍රශ්න අංක 5

“විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු“ කියන සටන් පාඨය සමස්ත ලෝකයෙන්ම ලංකාවේ පමණක් තිබෙන්නේ ඇයි?”

“මෙන්න මේ ප්‍රශ්න පහට පිළිතුරු සොයා ගත්තොත් 20 වන සංශෝධනය ගේන්න දතකට මදින උදවිය තිත්ත ඇත්ත යථාර්තය අවබෝධ කරගෙන ඒක හකුලා ගනීවී කියලා අපි බලාපොරොත්තු වෙනවා.”

“පසුගිය දා ගෑස් සිලින්ඩරයක මිළ රු 245කින් රු 1,675 දක්වා වැඩි කළා.  2017 සැප්තැම්බර් මාසයේ දී ගෑස් සිලින්ඩරයක මිළ රු 1,430 දක්වා රු 110කින් වැඩි කළා.  එතකොට ලෝක වෙළඳපොලේ ගෑස් ටොන් එකක මිළ ඩොලර් 480යි.  2018 අප්‍රේල් මාසයේ ගෑස් ටොන් එකක මිළ ඩොලර් 475යි.  ඒ කියන්නේ මිළ වැඩි වෙලා නොවේ අඩු වෙලා.  2018 ජනවාරි මාසයේ දී ඩොලර් 580ට තිබුණු ගෑස් ටොන් එකක් මේ වන විට ඩොලර් 105කින් අඩු වෙලා.  ලෝක වෙළඳපොලේ මිළ අඩු වන අතරේ ලංකාවේ මිළ වැඩි කරන්නේ ඇයි කියන ප්‍රශ්නයට ආණ්ඩුව පිළිතුරු බැඳිය යුතුයි.  සමහරෙක් කියන්න පුළුවන් මීට මාස දෙකකට කලින් මිළ දී ගත් ගෑස් තමයි දැන් විකුණන්නේ කියලා. මොකද මාස දෙකක පොරොත්තු කාලයක් තියෙනවානේ කියලා.  ඒ වුණත් මිළ පහත බසිමින් තිබිය දී මිළ වැඩි කිරීමට කිසිම තාර්කික පදනමක් නෑ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here