නියෝජ්‍ය ඇමතිකමක් කියන්නේ සිප්පි කටු මාලයක් වගේ……!

0

පක්ෂ නායකත්වය ඇතුලු සියලු තනතුරුවල වෙනසක් කරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ දුන් ප්‍රතිඥාව ඉටු නොකිරීමට විරෝධය පාමින් අගමැතිවරයා සහභාගි වන රැස්වීම් වර්ජනය කිරීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසනවා.

බිබිසි සිංහල සේවය සමඟ සාකච්ඡා වකට එක් වෙමින් ඇය පවසා සිටියේ තීරණයට එළැඹ සිටින සියලුම මන්ත්‍රීවරුන් “දිවි හිමියෙන්” අගමැති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වූ සහ “නොයෙක් අසාධාරණකම්වලට ලක් වූ” පුද්ගලයන් බවත් පක්ෂ නායකත්වයෙන් මිස අගමැති පදවියෙන් ඉල්ලා අස්විය යුතු” යයි අගමැතිවරයාට කිසිදු බලකිරීමක් නොකරන බවත්ය.

“විශ්වාසභංගයට මුහුණ දෙන කොට අගමැතිතුමාගේ චරිතයේ වෙනස්වීම් අපි දැක්කා. අපි ඒක විශ්වාස කළා. ඒ විශ්වාසය මත අපි හැමදෙනාම අගමැතිතුමා වෙනුවෙන් එදා නැගී සිටියා.” මන්ත්‍රීවරිය පවසා සිටියා.

මන්ත්‍රීවරිය පවසන පරිදි “රුවන් විජේවර්ධන කමිටුවේ සියලු නිර්දේශ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතුය” යන්න ඇය ඇතුලු පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමේ ප්‍රධානම ඉල්ලීම වී ඇත.

“අගමැතිතුමා පක්ෂ නායකත්වයෙන් ඉවත්විය යුතුයි කියල කියන්නේ අපි නෙවෙයි; අජිත් පී පෙරේරා, හරීන් ප්‍රනාන්දු, සුජීව සේනසිංහ වගේ අගමැතිතුමාගේ ලඟින්ම හිටපු අය තමා දැන් කියන්නේ. අපිත් ඒ මතය දරනවා.” ඇය පෙන්වා දෙනවා.

“ඉස්සරහට නායකත්වය බලාගෙන කවුරු හරි ඉන්නව නම් දැන් හොඳම අවස්ථාව එළියට ඇවිල්ල අපිට නායකත්වය දෙන්න.”

“නියෝජ්‍ය ඇමතිකම කියන්නේ පේන්න දාන නිකම්ම නිකම් සිප්පි කටු මාලයක් වගේ එකක්. නියෝජ්‍ය ඇමතිකම විහිළුවක්. ඉතින් මේ වෙලාවේ ඒ වගේ දේකට අහුවෙනවා කියන්නේ අපිත් අපේ අනාගතේ නැතිකර ගන්නවා කියන එකයි.” මන්ත්‍රිවරිය සඳහන් කර තිබෙනවා.

Hirunika Premachandra

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here