ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීම නීති විරෝධීයි, අධාර්මිකයි, ආචාර විරෝධියි…..!

0

තේ සහ රබර් වලට පනවා තිබු ග්ලයිපොසෙට් තහනම ඉවත් කිරීම හොර රහසේ සිදුකළ අධර්මික ආචාරධර්ම වලට පටහැනි ක්‍රියාවක් බව පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් පවසනවා.

ඊයේ (02) ග්ලයිපොසෙට් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කර සිටියා.

“කැබිනට් එක මේ ගැන කමිටුවක් නම් කළා මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා. ඒ සම්බන්ධයෙන් විශේෂ උප කමිටුවක් පත් කළා. ඒ තියන තත්ත්වය යටතේ දැන් ග්ල්යිපොසෙට් තහනම තේ සහ රබර් වලට ඉවත් කරන්න කටයුතු කළා කියලා දැන ගන්නට ලැබිලා තියනවා. ඉතින් මේක හොර රහසේ ගත්ත නීතිවිරෝධී ක්‍රියාවක්. මේ තීන්දුව අධාර්මික කිසිම ආචාර ධර්මයක් නැති තීන්දුවක්. මේ තීන්දුව පිළිබඳව මම බලවත් කණගාටුව පළ කරනවා,” උන්වහන්සේ පවසා සිටියා.

මේ අතර ඊයේ (02) මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍ය නවීන් දිසානායක පවසා සිටියේ, “ඊයේ වෙනකොට ජනාධිපතිතුමා හා අගමැතිතුමා සාකච්ඡා කරලා මේ තීරණය අරගෙන තියනවා. විශේෂයෙන්ම තේ කේෂ්ත්‍රයට සම්බන්ධ සියලු දෙනාම අපෙන් ඉල්ලීමක් කරලා තිබුණා තේ කේෂ්ත්‍රයට අදාළව මේ තහනම ඉවත් කරන්න කියලා. කෘෂි කේෂ්ත්‍රයේ අනෙකුත් බෝග වලට මෙම තහනම එහෙමම තිබෙනවා. ඒති කිසිම විද්‍යාත්මක පදනමකින් ඔප්පු වෙලා නෑ CKDU අතර හා ග්ලයිපොසෙට් අතර සම්බන්ධයක් තියනවා කියලා,” යනුවෙනි.