කියන තරම් ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම් යකා කළු නෑ….!- මලික් සමරවික්‍රම

0

ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම යටතේ වෘත්තිය වේදියෙකුට මෙරටට පැමිණිය හැක්කේ එම ගිවිසුම යටතේ පැමිණෙන ආයෝජන ව්‍යාපෘතින් සඳහා කෙරෙන පත්වීමක් ලෙසින් පමණක් බවත් එකී ගිවිසුම යටතේ ආරම්භ වන ව්‍යාපෘති සඳහා මෙරටට පැමිණිය හැක්කේ කළමණාකරුවන් හා විධායක නිලධාරින්ට පමණක් බවත් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම සඳහන් කරනවා.

ඊයේ (04) එම අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

“මෙම ගිවිසුම සකස් කළේ කාලයක් තිස්සේ සාකච්ඡා කර නීතිපති තුමාගේ ද අදහස් අරගෙනයි. අනතුරුවයි කැබිනට් මණ්ඩලයට දැම්මේ. අපි ඒ ගැන බොහෝ සාකච්ඡා කළා.ශ්‍රී ලංකා රජය එහි නව වෙළඳ ප්‍රතිපත්තියේ අංගයක් ලෙස තෝරාගත් රටවල් සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් සඳහා එළැඹීමට තීරණය කර ඇති අතර මේ ගිවිසුම ද එහි එක් අංගයකි. මේ ඔස්සේ වෙළඳාම හා ආයෝජන අතර බැඳියාවක් ඇති කිරීම තුළින් රට තුළට ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම මෙම ගිවිසුමේ අරමුණයි.”

“අමාත්‍ය මණ්ඩලය නොමඟ යවමින් ව්‍යාජ ලේඛන සකසමින් මෙම ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළා කියලා සමහරු චෝදනා කරනවා. නමුත් කිසිම පාර්ශවකරුවෙකුට මේ ගිවිසුම ගැන කිසිවක් සඟවලා නැහැ.මෙරටට ගෙන්වන භාණ්ඩ 7438 න් 438 ක පමණයි තීරු බදු අහෝසි කරන්නේ. වෙනත් රටවල නිෂ්පාදන සිංගප්පූරුව හරහා ගෙන්වන්න බැහැ.එසේ ගෙන්වන සෑම භාණ්ඩයකම අගය එකතු කිරීම සියයට 35 ක් වත් තිබිය යුතුයි.”

“මේ ගිවිසුම යටතේ ඉමක් කොනක් නැතිව වෘත්තියවේදීන් රටට එන්න හැකිය කියා අදහසක් තිබෙනවා. නමුත් එසේ එන්න බැහැ. ආවත් වැඩ කරන්න පුළුවන් ඒ එන ආයෝජකයාට පමණයි. අනෙක් කරුණ සිංගප්පූරුව වගේ රටක සේවය කරන වෘත්තියවේදියෙක් ඒ රට දාල මෙහේ එයිද? එය සිදුවේ යැයි සිතිය නොහැකියි.” අමාත්‍යවරයා පවසා සිටියා.

Malik Samarawickrama

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here