අවුරුදු 5 කින් UNP ආණ්ඩුව ඉවර වෙන්නේ නෑ….දෙවනපෙළ නායකත්වය තව අවුරුදු 25ක් මේ රට පාලනය කරයි!

0

සමෘද්ධි බැංකුව පාලනය කිරීමට නිසි රෙගුලාසියක් නොමැති බැවින් සමෘද්ධි බැංකුව මුදල් අමාත්‍යංශ්‍යය යටතට ගැනීමට නියෝග කළ බවත් අගමැති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඊයේ (06) පැවති එක්සත් ජාතික පක්ෂ මැයි දින සමැරුම් උත්සවයට සහභාගි වෙමින් අගමැතිවරයා මේ බව පවසා සිටියා.

එහිදි අදහස් දැක්වූ අගමැතිවරයා,

“අපි ආර්ථිකය ඇදගෙන ගෙන ගියා. බඩු මිල වැඩි වුණා, පොහොර හිගයක් තිබුණා, මම දන්නවා අපේ පාක්ෂිකයන්ට ඒ ගැන බැනුම් අහන්න සිදු වුණා. මම ඒ ගැන සියළුම පාක්ෂිකයින්ගෙන් සමාව ඉල්ලනවා. ජේ ආර් ජයවර්ධන මැතිතුමා නායකයෝ තුන් දෙනෙක් පුහුණු කළා. ඒ ඔක්කෝම නැති වුණා. මම හිටියේ ත්‍රිවිල් එකේ එපෙයාර් වීල් එක හැටියට. මේක අල්ල ගන්න එනකොට මගේ පිටිපස්සේ කවුරුවත් හිටියේ නෑ. මට ඕනෑ අවුරුදු 5 යන යු එන් පි ආණ්ඩුවක් නෙමෙයි. අවුරුදු 20 30 ක් යන යූ එන් පී ආණ්ඩුවක්. ඒක මට ගෙනියන්න බෑ. ඒකයි මේ නව නායකත්ව පරපුර ඇති කරන එක මම ආරම්භ කරලා තියෙන්නේ.”

“සමෘද්ධි අමාත්‍යාංශය බාර ගැනීමට අපට හැකියාව ලැබුණා. එම අමාත්‍යාංශයේ මීට පෙර පැවැති වැරදි නිවැරදි කිරීමට අපට සිදුව තිබෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය නම් නව ක්‍රමවේදයක් වුවත් ඇති කළ හැකියි. සමෘද්ධි අමාත්‍යාංශයේ සම්පූර්ණ සංඛ්‍යා ලේඛන ඊයේ දිනයේ දී මට ලැබුණා. මාස 12 ක කාලයක් සඳහා සමෘද්ධි අමාත්‍යාංශය වෙනුවෙන් බිලියන 25 ක මුදලක් වෙන් කර තිබෙනවා. නමුත් පළමු මාස තුන තුළ දී ඔවුන් බිලියන 13 ක් වියදම් කර තිබෙනවා. ඒ අනුව මාස තුනක් ඇතුළත දී මුලූ මුදලින් 53% ක් වියදම් කර තිබෙනවා. මාස තුනක් ගත වන විට වියදම් කළ යුත්තේ 25% ක් පමණයි. එසේ නම් අනෙක් මුදල්වලට සිදුවූයේ කුමක්ද? එම නිසා මුදල් අමාත්‍යාංශයටත්, මගේ අමාත්‍යාංශයටත් මම එහි කටයුතු බාර දුන්නා.”

“සමෘද්ධි බැංකුව කිසිවෙකුගේත් අධීක්‍ෂණයට ලක් නොවූ ආයතනයක්. සේවක අර්ථ සාධක අරමුදල, මහා භාරකාර අරමුදල මුදල් අමාත්‍යාංශයේ රෙගුලාසි යටතේ පාලනය වෙනවා. නමුත් සමෘද්ධි බැංකුව පාලනය කිරීම සඳහා කිසිඳු රෙගුලාසියක් ඇත්තේ නැහැ. එම නිසා මේ පිළිබඳව සොයා බලා එය මුදල් අමාත්‍යාංශයේ අධීක්‍ෂණය යටතට ගන්නා ලෙස මම උපදෙස් ලබාදුන්නා. රටේ අනෙකුත් සියලූම බැංකු මහ බැංකුව යටතේ පාලනය වුණත් සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතේ පාලනය නොවීම විශාල ගැටලූවක්. එම නිසා ඉදිරියේ දී සමෘද්ධි බැංකුවත් මහ බැංකුවේ පාලනය යටතට ගන්නා බව මම මේ අවස්ථාවේ ඔබට පවසනවා. ඉදිරියේ දී මේ වැඩ කටයුතු සාධාරණ ලෙස සිදු කරන බවත් පැවසිය යුතුයි.”

Ranil Wickremesinghe

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here