ශ්‍රී ලංකා, සිංගප්පූරු ගිවිසුමේ වැඩිම වාසිය මහේන්ද්‍රන්ටයි….!

0

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් කර ඇති නිදහස්‌ වෙළෙඳ ගිවිසුම හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට  එරට සිටම මේ රටේ ආර්ථිකය මෙහෙයවීමට ලබාදුන් අවස්‌ථාවක්‌ බව පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසා සිටිනවා.

ඊයේ (06) පුංචිබොරැල්ලේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රිවරයා මේ බව පවසා සිටි අතර දැනට ජාත්‍යන්තර පොලිසිය විසින්ද රතු වරෙන්තු හිටපු මහ බැංකු අධිපතිවරයාට නිකුත් කර ඇති අවස්ථාවක ඔහුට සිංගප්පූරුවේ සිටිම තවත් වාසියක් බවයි ඔහු පෙන්වා දුන්නේ.

එම නිසා මේ ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යැම සහ රට පුරා සම්මන්ත්‍රණ පවත්වා මහ ජනතාව දැනුවත් කිරීම ඇතුළු විරෝධතා ක්‍රියාමාර්ග රැසක්‌ ආරම්භ කිරීමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

මේ ගිවිසුම හරහා සිංගප්පූරුවට ශ්‍රී ලංකාව නිදහස්‌ කෙම්බිමක්‌ බවට පත්වන බවද ඒ හරහා විදේශ විනිමය අර්බුදය ගෙවුම්ශේෂ අර්බුදය පමණක්‌ නොව සමස්‌ත ආර්ථිකයම කඩාවැටෙන තත්ත්වයට පත්වනු ඇති බවද එය ඒකාබද්ධ විපක්‍ෂයේ මෙන්ම මේ ගිවිසුමට එරෙහි වෘත්තිකයන්ගේ අදහස බවත් මන්ත්‍රිවරයා පෙන්වා දුන්නා.

මේ ගිවිසුම හරහා සිංගප්පූරු පුරවැසියන්ට සහ සිංගප්පූරුවේ පුරවැසිභාවය ලබපු අයට ලංකාව තුළ නිදහසේ ක්‍රියාත්මක වීමට ඉඩ ප්‍රස්‌ථා විවර වන බවද ඒ නිසා මේ ගිවිසුමෙන් වැඩිම වාසි ලබනු ඇත්තේ මහ බැංකුවේ හිටපු අධිපති දැනට රටින් පැනගොස්‌ සිටින අර්ජුන මහේන්ද්‍රන්ට බවත් මන්ත්‍රිවරයා වැඩිදුරටත් පවසා සිටියා.
Bandula Gunawardane