මහින්දට ඉඩ දෙන්න….19 හකුල ගන්න – ගම්මපිලගෙන් යෝජනාවක්!

0

මහින්ද යුගයේදි මෙන් බොර තෙල් මිල ලෝක වෙළඳ පොලේ ඉහළ ගියා නම් මේ ආණ්ඩුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 200ක් දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල සඳහන් කරනවා.

අද (14) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඔහු පවසා සිටියේ බඩු මිල අඩු කරනවා නම් තෙල් ලීටරයක් රුපියල් 90ට දිය හැකි බවයි.

එහිදි අදහස් දැක්වු මන්ත්‍රිවරයා,

“මේ දවස් වල ආණ්ඩුවේ මැති ඇමතිවරු ගිරව් වගේ කියන කතාවක් තිබෙනවා.  අපි තෙල් මිළ වැඩි කළත් තවමත් මහින්ද යුගයට වඩා ලාභයිනෙ.  ඒ නිසා පොහොට්ටුවේ අයට අයිතියක් නෑ තෙල් මිළ විවේචනය කරන්න.  මේක පදනම් විරහිත කතාවක්.”

“මේ ආණ්ඩුව මැයි 11 දින පෙට්‍රල් ලීටරයක මිළ රු 137ක් කළා.  ඊට කලින් මාසයේ ඒ කියන්නේ අප්‍රේල් මාසයේ ලෝක වෙළඳපොලේ තෙල් බැරලයක මිළ ඩොලර් 67යි.  මීට පෙර රු 137 දක්වා පෙට්‍රල් ලීටරයක මිළ වැඩි කලේ 2011 සැප්තැම්බර් 30 දා.  ඊට පෙර මාසයේ ලෝක වෙළඳපොලේ තෙල් බැරලයක මිළ ඩොලර් 100යි.  අපි 137 දක්වා වැඩි කරන්නේ ලෝක වෙළඳපොලේ ඩොලර් 100 ට තෙල් බැරලය විකුණන විට.  මේ ආණ්ඩුව ඩොලර් 67 වුණාම රු 137ක් කළා.  මහින්ද යුගයේ රු 150ට පෙට්‍රල් දුන් බව ඇත්තයි.  එදා තෙල් බැරලයක මිළ තිබුණේ ඩොලර් 100ත් 110ත් අතර.  මහින්ද යුගයේ දී වගේ ලෝක වෙළඳපොලේ තෙල් මිළ ඉහළ ගියා නම් මේ ආණ්ඩුව අද වන විට පෙට්‍රල් ලීටරයක මිළ රු 200ක් කරලා. ඒනිසා හරියට ඉතිහාසය දන් නැතුව ගණන් හදන්න දන් නැතුව කට මැත දොඩවන්න එපා කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.”

“මේ ආණ්ඩුව 2015 ජනවාරි මාසයේ පෙට්‍රල් ලීටරයක මිළ රු 117 දක්වා අඩු කරන විට ලෝක වෙළඳපොලේ තෙල් බැරලයක මිළ වුණේ ඩොලර් 61යි.  දැන් මිල ඩොරල් 67 යි. ඩොලර් 61 දී රු 117ට දෙන්න පුළුවන් පෙට්‍රල් ලීටරය ඩොලර් 67 දී 137ක් වෙන ආකාරය ආණ්ඩුවේ  ඉන්නා ආර්ථික විශේෂඥයන් යැයි කියන සුපිරි මොල විසින් අපට පැහැදිලි කළ යුතුයි.  ඒ වගේම 2016 ජනවාරි මාසයේ දී  ලෝක වෙළඳපොලේ තෙල් මිල බැරලයේ පතුලටම කඩා වැටුනා. එදා ලෝක වෙළඳපොලේ තෙල් බැරලයක මිළ ඩොලර් 29 දක්වා පහත වැටුණත් ඒකෙ වාසිය ජනතාවට දුන්නේ නෑ.”

“රවි කරුණානායක මන්ත්‍රිතුමා ඉතාම නිවැරදිව සඳහන් කළ ආකාරයට තෙල් මිළ ඉහළ දැම්මේ තෙල් මත අධික බදු බරක් පටවලා තිබෙන නිසා මිස මිළ වැඩි වීමේ ප්‍රශ්නයක් නිසා නොවේ.  මෛත්‍රි ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 28 පිටුවේ මෙහෙම කියලා තිබෙනවා.  “ඉන්ධන වලින් රජය අය කරන රුපියල් කෝටි 4,000කට අධික බදු ඉවත් කර ඉන්ධන මිළ අඩු කෙරේ“.  කෝ ඒක කළා ද? අවුරුදු තුනහාමාරක් ගිහින් තවම කරලා නෑ.    තවමත් තීරු බදු, දේශීය භාණ්ඩ බදු, වරාය සහ ගුවන් සේවා බදු සහ ජාතිය ගොඩ නැගීමේ බදු වශයෙන් කෝටි 8,000ක් පමණ ආණ්ඩුව උපයා ගන්නවා.  ඒ බදු නැතිනම් පෙට්‍රල් ලීටරය රු 90කට දෙන්න  පුළුවන් බව ඉතාම වගකීමෙන් ජනතාවට කියන්න කැමතියි.”

“ගමේ සීඝ්‍ර සංවර්ධනයක් ඇති කිරීමේ අරමුණින් “ගම්පෙරලිය“ ව්‍යාපෘතිය ළඟදී ම අරඹන බව මුදල් ඇමතිතුමා කියනවා.  එතුමා නොදන්නවා වුණාට ගම් පෙරලිය 2015 ජනවාරි මාසයේ සිදු වුණා.  දැන් තිබෙන්නේ කලියුගය.  ළඟ දී ම යුගාන්තය එනවා.  යුගාන්තය එන තුරු තමයි මුළු ජාතියම ඇඟිලි ගනිමින් ඉන්නේ කියන එක අපි මුදල් ඇමතිතුමාට මතක් කරනවා.  ගම්පෙරලිය කලියුගය සහ යුගාන්තය කියන තුන් ඈඳුනු නවකතා මාටින් වික්‍රමසිංහ ශූරින් රචනා කලේ මේ සිරිසේන – රනිල් යුගය කලින්ම දැකලා කියලායි අපට නම් හිතෙන්නේ.”

“1981 සිට 2003 දක්වා වසර 22ක් මැලේසියාව පාලනය කළ වෛද්‍ය මහතිර් මොහොමඩ් පසුගිය 10 දා පැවැති මැතිවරණයෙන් නැවත අගමැති ධූරයට ජනතාව විසින් තෝරා ගත්තා.  දැන් එතුමාට වයස අවුරුදු 93ක් වුණත් නැවත එතුමාට රට භාර දීමට වයස ප්‍රශ්නයක් වුණේ නෑ.  ඊට හේතු වුණේ එතුමාගේ යුගය තමයි මැලේසියාවේ ස්වර්ණමය යුගය.  එතුමා පාලනය කළ වසර 22 තුල මැලේසියානු ආර්ථිකය සිව් ගුණයකින් වර්ධනය වුණා.”

“ලංකාවේත් මහතිර් මොහොමඩ් කෙනෙකු හිටියා.  ඒ තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා.  එතුමාගේ වසර 9ක පාලන කාලය තුල ලංකාවේ ආර්ථිකය සිව් ගුණයකින් වර්ධනය වුණා.  වෙනත් වචන වලින් කියනවා නම් අගමැති මහතිර් වසර 22කින් කළ වැඩේ ජනපති මහින්ද වසර 9න් කළා.”

“මැලේසියානු ජනතාව තමන්ගේ ආණ්ඩුව වැඩ බැරි දූෂිත ආණ්ඩුවක් බව පෙනුනාම අලුතින් පක්ෂයක් හදා ගත් මහතිර් මොහොමඩ් මැතිතුමාට රට භාර දුන්නා. ලංකාවේ ආණ්ඩුවත් වැඩ බැරි දූෂිත ආණ්ඩුවක් බව ජනතාව තේරුම් අරන්. මහින්ද රාජපක්ෂ මැතිතුමාත් අළුත් පක්ෂයක් හදා ගෙන ජනතාව ඉදිරියට ඇවිත් ඉන්නේ.  ජනතාවට වුවමනා නායකයා ජනතාවටම පත්කරගන්න මැලේසියාවේ පුලුවන් උනත් ලංකාවේ එහෙම කරන්න බෑ.  19 වන සංශෝධනය කියන ප්‍රජාතන්ත්‍ර විරෝධී සංශෝධණයෙන්  තමන් කැමැති නායකයාව පත් කර ගැනීමේ අයිතිය ජනතාවගෙන් උදුරා ගෙන තිබෙන්නේ.  යම් පුද්ගලයෙක් රටේ නායකයා විය යුතුද නැද්ද යන්න තීරණය කල යුත්තේ ජනතාව මිස ව්‍යවස්ථාව නොවෙයි. මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට ඡන්දයට ඉදිරිපත්වීමට බාදකය වී  තිබෙන්නේ ජනතා කැමැත්ත නැති කම නෙමෙයි. ව්‍යවස්ථාවේ ඉඩ නැති කම. ඒ නිසා තමන් කැමති නායකයෙකුට රට බාරදෙන්න මැලේසියාවේ ජනතාව කල වරද නිවරදි කර ගැනීමේ ක්‍රියාවලිය ඉටුකරගන්න ශ්‍රී ලංකාවේ ජනතාවටත් අවස්ථාව දෙන්න ජනතාවගෙන් උදුරාගත් තමන් කැමති නායකයෙක් පත් කරගැනීමේ අයිතිය නැවත ලබා දීලා 19 වන සංශෝධනය හකුලා ගන්න කියලා අපි ආණ්ඩුවට යෝජනා කරනවා.”

Udaya Gammanpila

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here