රට ගොඩ ගන්න ආර්ථික රටාව වෙනස් කළ යුතුයි! – ගෝඨාභය රාජපක්ෂ

0

ආර්ථිකය සම්බන්ධ සාම්ප්‍රදායික ප්‍රතිපත්ති මාලාව හැකි ඉක්මනින් වෙනස් කළ යුතු බවත්, ආර්ථික ව්‍යුහය වෙනස් කිරීමට ප්‍රමාද වීම ලැබෙන අවස්ථා අහිමි කර ගැනීමටහේතු වන බවද වියත්මඟ සංවිධානයේ සභාපති, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ සඳහන් කරනවා.

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ පැවති පෙරේදා (13) පැවැති වියත්මඟ සංවිධානයේ වාර්ෂික සම්මේලනයට සහභාගීවෙමින් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළා.

එහිදි අදහස් දැක්වූ හිටපු ආරක්ෂක ලේකම්වරයා,

“වසර 2030 වනවිට චීනයේ ආර්ථික වර්ධන වේගය ඇමෙරිකාව මෙන් දෙගුණයක් වෙනවා. ඉන්දියාව තුන්වැනි තැනටත්, ජපානය සිවුවැනි තැනට හා ඉන්දුනීසියාව පස්වැනි තැනටත් පත්වෙනවා. එවිට ගෝලීය ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය බවට ඉන්දියානු සාගරය පත්වෙනවා. එහෙත් ඒ ගෝලීය ආර්ථික වෙනසට අප රට සූදානම් ද කියන ප්‍රශ්නය මතුවෙනවා.”

“මේ රටේ සිටින පර්යේෂකයන්, නිර්මාණකරුවන්, වෘත්තීයවේදීන්ට හිමි කාර්යය අප හඳුනාගත යුතුයි. වියත්මඟ සංවිධානයේ අරමුණ ඒ සඳහා රට සූදානම් කිරීමයි. එනම් 2030 වසර සඳහා රට සූදානම් කිරීමයි.”

“ආර්ථිකයේ සංවර්ධනයක් නැතුව කිසිවක් සංවර්ධනය කළ නොහැකියි. ආර්ථිකය නිසි පරිදි වර්ධනය වුවහොත් අද තිබෙන සෑම ප්‍රශ්නයක්ම විසඳන්න පුළුවන්. ඒ සඳහා ගැළපෙන පරිදි ආර්ථික ව්‍යුහය සකස් කරගන්න ඕන. සමාජවාදී වෙළඳෙපොළ ආර්ථිකයක් හරහා ආර්ථිකය වර්ධනය කරන ගමන්ම අපි අපේ සංස්කෘතිය ආරක්‍ෂා කරගත යුතුයි. ලෝකයෙන් ඈත්වෙලා අපේ රටේ ආර්ථිකය සංවර්ධනය කරන්න බැහැ.”

“එමෙන්ම ආර්ථිකය හා සම්බන්ධ ප්‍රතිපත්ති ඉතාම ඉක්මනින්ම වෙනස් කළ යුතුයි. සාම්ප්‍රදායික ආර්ථික ව්‍යුහය වෙනස් කිරීමට අපි ප්‍රමාද වුවහොත් අපිට ලැබෙන අවස්ථාවන් අහිමි වී යනවා. එමෙන්ම අපි ප්‍රමාදවන තරමට මේ ආර්ථික ප්‍රශ්න උග්‍රවෙනවා. අපේ රටේ බොහෝ වෘත්තීන් තිබෙන්නේ තාක්‍ෂණයේ ඉතාම පහළ මට්ටමේයි. නව ආර්ථික සැලැස්මක් යටතේ අපි මේවා දියුණු කරගත යුතුයි.”

“දැනුම මුල්වූ ආර්ථිකය ලෝකයේ නව ප්‍රවණතාවයි. දැනුම මුල්වූ ආර්ථිකය මඟින් වැඩි විදේශ විනිමයක් ඉපයිය හැකියි. ගෝලීය ආර්ථික නිරන්තරයෙන්ම සංක්‍රමණය වෙනවා. වර්තමානය වනවිට දියුණුව පවතින්නේ අන්තර්ජාලය හා සබැඳි ආර්ථිකයයි. අප එයට සූදානම් විය යුතුයි. ඒ සඳහා නව තාක්‍ෂණයෙන් පිරිපුන් කර්මාන්ත බිහිකළ යුතුයි. අපේ සංස්කෘතිය බැඳී තිබෙන්නේ කෘෂිකර්මාන්තය සමඟයි. නවීන තාක්‍ෂණය සමඟ කෘෂිකර්මාන්තය එකතු කිරීමෙන් වැඩි ආදායමක් ඉපයිය හැකියි.”

“සංචාරක කර්මාන්තය, ජාත්‍යන්තර අධ්‍යාපනය, සංචාරක වෛද්‍ය ක්‍ෂේත්‍රය වැනි ක්‍ෂේත්‍රයන් අප තව තවත් දියුණු කරගත යුතුයි. එමෙන්ම විද්‍යාත්මක හා තාක්‍ෂණික පර්යේෂණ තව තවත් වර්ධනය කරගැනීම අත්‍යවශ්‍යයි. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරයන්ට රජය ආධාර කළ යුතුයි. ගෝලීය ආර්ථිකයට සාපේක්‍ෂව අපගේ ආර්ථිකය පරිවර්තනය කිරීමේදී සංවර්ධනයට බලපෑම් කරන රෙගුලාසි හා පුරුදු වෙනස් කරගන්න ඕන.”

“ආර්ථික වර්ධනය සඳහා ආයෝජන ඉතාම වැදගත්. ඒ නිසා පුද්ගලික අංශයට උදව් කරමින්ම ඉහළ තත්ත්වයේ ආයෝජන රටට ගෙන ආ යුතුයි. එසේ නොවුණහොත් අපි දැඩි අර්බුදයකට පත්වෙනවා. ඒ නිසා වෙළෙඳපොළ විශ්ලේෂණයකින් තොරව ආයෝජන ගෙන ඒම සුදුසු නැහැ. ආයෝජන ගෙන ඒම සඳහා නව ප්‍රතිපත්ති සකස් කරන්න ඕන. විදේශ ආයෝජන ගෙන ඒමේදී අපි දේශීය ව්‍යාපාරිකයන් ආරක්‍ෂා කරගන්න ඕන.”

“අප විසින් නිදහස් වෙළෙඳ කලාප නිසි කාලයේදී වෙනස් නොකළ නිසා ඒ සම්බන්ධයෙන් පහත් හැඟීමක් අපිට තියෙනවා. ලොව බොහෝ දියුණු රටවල නිදහස් වෙළෙඳ කලාප තිබෙනවා. අපිත් නවීන ලෝකයට ගැළපෙන පරිදි නිදහස් වෙළෙඳ කලාප වෙනස් කරන්න ඕන.”

“එමෙන්ම අප වැනි දියුණු රටවල් සඳහා තාක්‍ෂණික මිනිසුන් අවශ්‍යයි. ඒ සඳහා අධ්‍යාපන ප්‍රතිපත්ති තව තවත් දියුණු කළ යුතුයි. දියුණු අධ්‍යාපන ක්‍රමයක් හරහා නිර්මාණකරුවන් හා පර්යේෂකයන් බිහිකරන්න පුළුවන්. එමෙන්ම නිපුණතාවයෙන් වැඩි කම්කරුවන් බිහිකරන්නත් හැකියි.”

“එමෙන්ම රට සංවර්ධනය කිරීමට නම් පාලකයන් හා නිලධාරීන් දූෂණයෙන් ඈත්විය යුතු අතරම සියලුම පුද්ගලයන් හා සංවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොඉක්මවමින් කටයුතු කරන්න ඕන. පාලකයන් හා නිලධාරීන් දූෂණයෙන් ඈත්ව කටයුතු කරන්නත් ඕන. රටක ආර්ථිකයක් ගොඩනැගෙන්නේ වැඩබිමේ, ගොවිබිමේ පැය 8ක් හෝ 10ක් ශ්‍රමය වගුරවන කම්කරුවන් අතරින් මිස නිලධාරීන් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති හෝ සංඛ්‍යාලේඛන මගින් නොවේ.”

Gotabhaya Rajapaksa