හමුදාව අතින් යුද්ධයේදි අහිංසක ජනතාව මැරුණා ….හමුදා ප්‍රකාශක නිහඩ කරමින් රාජිත කී කතා

0

උතුරේ ජනතාව යුධ සමයේදි මියගිය සිය විරුවන් සැමරීමේ කිසිදු වරදක් නැති බවත් යුද්ධයේදි උතුරේත් දකුණේත් මිනිසුන් මිය ගිය බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

ඊයේ (16) කැබ්නට් මාධ්‍ය හමුවේදි මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

උතුරු පළාත් සභා මන්ත්‍රිවරියක් යෝජනා කරලා තියනවා ප්‍රභාකරන් මිය ගිය දවස දෙමළ ජනතාවගේ සංහාර දිනයක් කියලා. රජයේ ස්ථාවරය මොකද්ද ඒ ගැන?

“ඉතින් ප්‍රශ්නයක් නෑනේ. දැන් මෙච්චර කල් ජෙවිපෙ සැමරුවේ විරු සමරුව.”

එල්ටීටීඊ කියන්නේ ත්‍රස්ත සංවිධානයක්?

“ජවිපෙ කියන්නේත් ත්‍රස්තවාදී සංවිධානයක්.”

යුද්ධය 2009 ඉවර වුණාට පස්සේ හැම ගෙදරකම මිය ගිය රණවිරුවන් වෙනුවෙන් පොල්තෙල් පහනක් පත්තු කරමින් අපි රණ විරුවන් සැමරුවා. දැන් උතුරේ අය එහෙම සමරන ඔට දකුණේ අය මොකද්ද කරන්නේ?

“විරුවන් සැමරුවාට ඒ විරුවන් අතින් ඝාතනය වුණේ අපේම දරුවන්නේ.”

ඇමතිතුමා විරුවන් අතින් ඝාතනය වුණේ ත්‍රස්තවාදීන්?

“ත්‍රස්තවාදී විතරද ඝාතනය වුණේ?”

ඉතින් ඔබ කියනවාද වෙනත් අයත් ඝාතනය වුණා කියලා?

“පැහැදිළිවම යූද්ධයක කොහොමද එහෙම ඝාතනය වුණේ නෑ කියන්නේ දැන් 88 දි මැරුණු ඔක්කෝම ජවිපෙ ත්‍රස්තවාදීන්ද? දෙගොල්ලන්ගෙන් විජේවීර මහත්තයාගෙයි, ප්‍රභාකරන් මහත්තයාගෙන් කරපු වෙනස්කම් කියන්න බලන්න මට.”

කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේදි වගකීමෙන්ද ඔබතුමා කියන්නේ ලංකා හමුදාව අතින් එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට අමතරව වෙනත් අය මැරුණා කියලා?

“ශ්‍රි ලංකා හමුදාවේ ඉන්න ඕනෑම නිලධාරියෙක් පිළිගන්නවා යුද්ධයේදි අහිංසක ජනතාව මැරුණා කියලා. නැත්නම් මොකටද ඔච්චර දේවල් වෙන්නේ”

ඔබතුමාගේ ප්‍රකාශය හරහා ජාත්‍යන්තරයෙන් ලැබෙන ප්‍රකාශයට සහයක් නේද ලැබෙන්නේ?

“නෑ කිසිම සහයක් නෑ.”

හමුදා මාධ්‍ය ප්‍රකාශකතුමා ඔබතුමාගේ මතය මොකද්ද ඒ සම්බන්ධයෙන්?

(හමුදා මාධ්‍ය ප්‍රකාශක නිහඬයි.)

ඇමතිතුමා හරියට ප්‍රශ්නය තේරුම් ගන්න. මම අහන්නේ ඔබතුමාගේ ප්‍රකාශය හරහා ජාත්‍යන්තරයේ ප්‍රකාශ වලට සහයක් ලැබෙනවාද කියන එක ගැන හමුදා ප්‍රකාශකගේ මතය දැන ගන්න කැමතියි?

අමාත්‍ය රාජිත සේනාරත්න: “ජාත්‍යන්තරයේ චෝදනා එල්ල වෙන්නේ මිනිස්සු මැරුවා කියලා නෙමෙයි.”

මම මතය විමසන්නේ හමුදා මාධ්‍ය ප්‍රකාශකතුමාගෙන්?

හමුදා ප්‍රකාශක : “මම ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න කැමති නෑ. එතකොට මෙතන මත ගැටුමක් ඇතිවෙන්න පුළුවන්. මම හිතන්නේ ඇමතිතුමා මෙතන පවසා සිටියේ සාමාන්‍ය ඝාතනය කිරීමක් නෙමෙයි.”

අමාත්‍ය රාජිත සේනාරත්න: “ධර්මාශෝක කාලයෙත් සිද්ධ වුණා.”

නෑ නෑ ඒ කාලයේ අපිට වැඩක් නෑ. අපි වර්තමානයේ නේ යුද්ධයකට මුහුණ දුන්නේ අවුරුදු 30ක් තිස්සේ ගම්වල බෝම්බ පුපුරලා, කෝච්චි වල බෝම්බ පුපුරලා ලක්ෂගණන් මිනිස්සු අපේ මේ ඉස්කෝල වටේ මැරුණානේ ඇමතිතුමා, මම කියන්නේ ජාතික සංහාර දිනයක් කියලා ඔවුන් උතුරේ සමරන කොට එතකොට අපේ දකුණේ මිනිස්සු මැරුණානේ බෝම්බ වලින් මරාගෙන මැරෙන. එතකොට ඒ අය සමරන්නේ අපේ මේ දකුණේ මැරුණු මිනිස්සුද?

“තමුන්නාන්සේට වඩා මම යුතුකම් ඉටුකරපු මිනිහෙක්. මම මගේ පක්ෂයත් අත ඇරලා තනතුරු අත ඇරලා යුද්ධය කාලේ ආණ්ඩුවට ගියපු මිනිහෙක්. මතක තියා ගන්න.”

වත්මන් ආණ්ඩුව බලයට ඇවිල්ලා විජයග්‍රාහි සැමරුම නැවැත්තුවේ යම් කිසි ප්‍රතිපත්තිමය තීරණයක්  නිසා. ඔබතුමාලා තීරණයක් ගත්තා අපි එහෙම සැමරුවාම අර මිය ගිය මිනිස්සු සැමරුවා වගේ වෙනවා කියලා. දැන් ඒ ගොල්ලෝ ඒක ජාති සංහාර දිනයක් විදියට නම් කරනවා. රජය හැටියට ඒක ක්‍රියාත්මක කරන්න දෙනවාද නැද්ද?

“ඕකම තමයි ජනතා විමුක්ති පෙරමුණත් කිව්වේ 71 88 වුණේ සංහාරයක් කියලා. දැන් දකුණේ ඉන්න පේමන්ට් දේශපාලකයෝ වගේ එයාලත් මොකද කරන්නේ එන සැරේ තමන්ගේ තනතුර බේර ගන්න ඒක කරපින්නා ගෙන කරනවා.”