ගමේ ආර්ථිකය නැංවීමෙන් රටේ ආර්ථිකය නංවන්න පුළුවන්…!

0

රටේ බහුතර ජනතාවක් අයත් වන ග්‍රාමීය ආර්ථිකය ඉහළ නැංවීම හරහා රටේ ආර්ථිකය ඉහළ නැංවීමට අවස්ථාව ලැබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඊයේ (17) කොළඹ මුවන්පික් හෝටලයේදී පැවති ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මූල්‍ය ආධාර යටතේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධනය සහ ග්‍රාමීය ආර්ථික පිළිබඳ අමාත්‍යාංශය පහසුකම් සපයන ‘වෙළෙඳපොළ ඉලක්ක කරගත් කිරි නිෂ්පාදන ව්‍යාපෘතිය’ ආරම්භ කිරීමේ උත්සවයට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

“මේ රටේ කුඩා හා මධ්‍යම කිරි ගොවීන්ට මෙම ව්‍යාපෘතිය යටතේ ආධාර සහ පහසුකම් ලැබෙනවා. අපට එක් කිරි එළදෙනකගෙන් ලැබෙන්නේ කිරි ලීටර 4ක් 5ක්. මේ ව්‍යාපෘතිය යටතේ අපට එය කිරි ලීටර 10ක් දක්වා වැඩි කරගැනීමට හැකියාව ලැබෙනවා.”

“ඉන් අනතුරුව එය ලීටර 20ක් දක්වා වැඩි කරගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉතා හොඳ පහසුකම් තිබෙන ඒ වගේම විශාල පට්ටි තිබෙන කිරි ගොවීන් දිනකට කිරි ලීටර 5ක් දොවා ගන්නවා. හැබැයි කුඩා හා මධ්‍ය කිරි ගොවීන්ට ඇතැම් අවස්ථාවලදී කිරි ලීටර 4ක් 5ක් ලබාගන්නත් බැහැ.”

“වෙළෙඳපොළ ඉලක්ක කරගත් මෙම කිරි නිෂ්පාදන ව්‍යාපෘතිය යටතේ අපට කුඩා හා මධ්‍ය පරිමාණ කිරි ගොවීන් දිරි ගන්වමින් ඔවුන්ගේ කිරි නිෂ්පාදනය ඉහළ දැමීමට හැකියාව ලැබෙනවා. ගුණාත්මකභාවයෙන් ඉහළ කිරි නිෂ්පාදනයක් ලබාගැනීමට අපට හැකියාව ලැබෙනවා.පළමු පියවර ලෙස කිරි ලීටර 8ත් 10ත් අතර ප්‍රමාණයක් ලබාගත්තාම අපට දෙවැනි පියවරට යෑම අමාරු නැහැ. හතර ගුණයකින් කිරි නිෂ්පාදනය වැඩි කිරීම අපේ අවසන් ඉලක්කයයි. “‘

“අපි සංචාරක, තොරතුරු තාක්ෂණ, සේවා, කර්මාන්ත, නිෂ්පාදන, වරාය, මහාමාර්ග, ගුවන් තොටුපොළ ආදී ක්ෂේත්‍ර රැසක් නවීකරණය කරමින් ඉන්නවා. අඟහරුවාදා අපි ලෝක බැංකුවේ ආධාර යටතේ කෘෂිකර්මය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළා. අද අපි මේ ව්‍යාපෘතිය ආරම්භ කළා.”

“ඒ අනුව රටේ ජනගහනයෙන් වැඩි පිරිසක් අන්තර්ගත ග්‍රාමීය ආර්ථිකය නවීකරණය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ග්‍රාමීය ආර්ථිකයේ නියමුවන් වන්නේ ගොවීන්. අපි ගොවීන් ශක්තිමත් කරනවා. අන්තිම ඉලක්කය ගොවීන්ගේ ආදායම් වැඩි කිරීමයි.”

“මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ අපේ ආණ්ඩුව ගම්මානවල වාරිමාර්ග සංවර්ධනය සඳහා මුදල් වෙන් කරනවා. නව කෘෂි භෝග හඳුන්වා දෙනවා. ඒ වගේම කිරි ගොවීන්ගේ ආදායම් වැඩි කිරීමට අපි මෙම ව්‍යාපෘතිය දියත් කරනවා.”

“කිරි ගොවීන්ගේ ආදායම් වැඩි කිරීම තුළිනුත් අපට රටේ ආදායම් වැඩි කරන්න පුළුවන්.”

Ranil Wickremesinghe

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here